භයතුපට්ඨාන ඤාණය
මේ ආකාරයෙන් සියලු සංස්කාරයන්ගේ ක්ෂය ව්යයභේද සහිත නිරෝධය අරමුණු කොට ඇති භඞ්ගානුපස්සනාව පුරුදු කරන, වඩන, ප්රගුණ කරන ඒ යෝගාවචරයාහට සියලු භව-යෝනි-ගති-ස්ථිති-සත්වාවාසයන්හි බිඳෙමින් පවත්නා සංස්කාරයෝ, සුවසේ ජීවත්වනු කැමැති බියසුලු පුරුෂයකුහට සිංහ-ව්යාඝ්ර-දිවි-වලස්-තරස්-යක්-රකුස්-කුළුහරක්-සැඬ-බලු-මද කිපුණු ඇත්-ගොරසප් - සෙන මඬුලු - සුසාන භූමි - රණ භූමි - දිලෙන අඟුරු වළ ආදියෙහිදී මෙන් මහත් බිය උපදවන්නන් ලෙසින් වැටහෙති. “අතීත සංස්කාරයෝ නිරුද්ධ වූහ, වර්තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙති, අනාගතයෙහි උපදනා සංස්කාරයෝද මෙසේම නිරුද්ධ වන්නාහ’යි දක්නා ඔහුට, මේ අවස්ථාවෙහිදී භයතුපට්ඨාන නම් ඤාණය උපදියි.
මේ එයට උපමා කථායි:- එක්තරා ස්ත්රියකගේ පුත්හු තිදෙනාම රාජාපරාධකාරයෝ වූහ; රජ තෙමේ ඔවුන්ගේ හිස ගසා දැමීමට අණ කළේය; ඕ තොමෝ පුතුන් සමග වධකස්ථානයටද ගියාය. ඉක්බිති (වධකයෝ) ඇයගේ දෙටු පුතාගේ හිස ගසා දමා මද්දුමයාගේ හිස සිඳීම ඇරඹූහ; ඕ තොමෝ වැඩිමහල් පුතාගේ හිස සිඳලූ බවද, මද්දුමයාගේ හිස සිඳිනු ලබන බවද දැක කණිටු පුතුහටද මෙසේම වෙති’යි ඔහු කෙරෙහි ආලය හැරලූය. එහි ඒ ස්ත්රියගේ දෙටු පුතු හිස සිඳලූබව දැකීම යෝගාවචරයා විසින් අතීත සංස්කාරයන් නිරුද්ධ වූ බව දැකීම බඳුය; මද්දුමයාගේ හිස සිඳිනු දැකීම වර්තමාන සංස්කාරයන් නිරුද්ධ වනු දැකීම බඳුය; මොහුද පළමු දෙදෙනා මෙන්ම වෙති’යි කණිටු පුතු කෙරෙහි ආලය හැරලීම, අනාගතයෙහි උපදනා සංස්කාරයන්ද බිදී යති’යි එම (ආනාගත) සංස්කාරයන්ගේද නිරෝධ දර්ශනය බඳුය. මෙසේ ඔහුට මේ අවස්ථාවෙහිදී භයතුපට්ඨාන ඤාණය උපදියි.
තවද උපමාවෙකි:- එක්තරා මියන දරුවන් ඇති ස්ත්රියක් දරුවන් දස දෙනකු වැදූය. ඔවුන්ගෙන් නව දෙනෙක් මිය ගියහ; එක් දරුවෙක් අතෙහි මැරෙමින් සිටියි, කුසහොත් තවද දරුවෙකි. ඕ තොමෝ දරුවන් නව දෙනකු මිය ගිය බවද, අත හොත් දසවැන්නා ද මියෙමින් සිටින බවද, දැක කුස හොත්තහු කෙරෙහි වූ ආලය “මොහුටද මෙසේ වෙති”යි සලකා අත් හළාය. එහි, එම ස්ත්රිය දරුවන් නව දෙනකුගේ මරණය සිහි කිරීම එම රෝගියා විසින් අතීත සංස්කාරයන්ගේ නිරෝධය දැකීම බඳුය; අත හොත් දරුවා මියෙමින් සිටිනු දැකීම, යෝගියා විසින් වර්තමාන සංස්කාරයන් දැකීම බඳුය, කුසහොත්තහු කෙරෙහි ආලය හැරිම අනාගත සංස්කාරයන් නිරුද්ධ වනු දැකීම බඳුය. මෙසේ දක්වා එම යෝගියාහට මේ අවස්ථාවෙහිදී භයතු පට්ඨාන ඤාණය උපදියි.
භයතුපට්ඨාන ඤාණය බිය දනවාද? නොදනවාද? නොදනවයි එය වනාහි, ‘අතීත වූ සංස්කාරයෝ නිරුද්ධ වූහ, වර්තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙති, අනාගත සංස්කාරයෝද නිරුද්ධ වන්නාහ.’ යනුවෙන් හුදෙක් තීරණ මාත්රයක්ම වේ. එහෙයින්, යම්සේ වනාහි ඇස් ඇති පුරුෂයෙක් නගරද්වාරයෙහි අඟුරු වළවල් තුනක් දක්නේ, තෙමේ භය නොවේද, එහෙත්, ඔහුට “යමකු මෙහි වැටුණහොත්, ඔහු සියල්ලෝම අපමණ දුක් අනුභව කරන්නාහ” යන තීරණ මාත්රයක්ම වේද, නැතහොත්, යම්සේ වනාහි, ඇස් ඇති පුරුෂයෙක් කිහිරිහුලක්ද, යහුලක්ද, රන්හුලක්දැ’යි එක පෙළට තබන ලද හුල් තුනක් දක්නේ, තෙමේ භය නොවේද, එහෙත් ඔහුට, “යම් කෙනකු මේ හුල් මත වැටුණහොත්, ඔහු සියල්ලෝම නොමඳ වූ දුක් අනුභව කරන්නාහ” යනුවෙන් හුදු තීරණ මාත්රයක්ම වේද, එසේම භයතුපට්ඨාන ඤාණය බිය නොදනවයි. ඔහුට, අඟුරු වළවල් තුන බඳු වූද, හුල් තුන බඳු වූද භවත්රයයෙහි වූ “අතීත සංස්කාරයෝ නිරුද්ධ වූහ, වර්තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙති, අනාගත සංස්කාරයෝද නිරුද්ධ වන්නාහ’’ යනුවෙන් හුදු තීරණ මාත්රයක්ම වේ. යම්හෙයකින් වනාහි ඒ යෝගාවචරයාහට සියලු භව-යෝනි-ගති-ස්ථිති-නිවාසයනට පත්වූ සංස්කාරයෝ ව්යසනයට පත්වූවන්, භයසහිත වූවන් ලෙසින් භය වශයෙන් වැටහෙති. එහෙයින් ‘භයතුපට්ඨාන’ යයි වහරනු ලැබේ.
මේ ආකාරයෙන් ඔහුට භය වශයෙන් වැටහීම දැක්වෙන පෙළ මෙසේයි:-
‘‘අනිත්ය වශයෙන් මෙනෙහි කරන්නහුට කුමක් භය වශයෙන් වැටහේද? අනිත්ය වශයෙන් මෙනෙහි කරන්නහුට නිමිත්ත භය වශයෙන් වැටහෙයි; දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නහුට පැවැත්ම භය වශයෙන් වැටහෙයි; අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නහුට නිමිත්ත හා පැවැත්ම යන දෙකම භය වශයෙන් වැටහෙයි.
එහි ‘නිමිත්ත’ යනු, සංඛාර නිමිත්තයි. අතීත අනාගත-ප්රත්යුත්පන්න සංස්කාරයනට මේ (නිමිත්ත යනු) අධිවචන (පර්යාය) වේ. අනිත්ය වශයෙන් මෙනෙහි කරනුයේ වනාහි සංස්කාරයන්ගේ මරණයම දකී; එහෙයින් ඔහුට නිමිත්ත භය වශයෙන් වැටහේ; ‘පවත්ත’ (පැවැත්ම) යනු රූප-අරූප භවයන්ගේ පැවැත්මයි, දුඃඛ වශයෙන් මෙනෙහි කරනුයේ වනාහි, සුඛ (සැප යයි) සම්මත පැවැත්මෙහි පවා නිරන්තර ප්රතිපීඩනභාවය (නිරතුරු පෙළීම ඇති කරන ස්වභාවය) ම දකියි; එහෙයින් ඔහුට පැවැත්ම භය වශයෙන් වැටහේ; අනාත්ම වශයෙන් මෙනෙහි කරනුයේ වනාහි මේ (නිමිත්ත-පවත්ත යන) දෙකම, පාලු ගමක් සෙයින්ද, මිරිඟු, ගන්ධබ්බනගර ආදිය මෙන්ද, හිස්ව, මුඩුව, ශූන්යව, අස්වාමිකව, අපරිණායකව (කළමනාකරුවකු නැතිව) මෙන් පෙනේ, මෙසේ ඔහුට නිමිත්තද, පැවැත්මද යන දෙකම භය වශයෙන් වැටහේ” යනුයි.