භඞ්ගානුපස්සනා ඤාණය
මේ ආකාරයෙන් සලකමින්, යලි යලිදු “අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි රූපාරූප ධර්මයන් තුලනය කරමින්, තීරණය කරන විට, විදර්ශනාඥානය තියුණු වීමෙන් සංස්කාරයෝ යුහුව වැටහෙයි. විදර්ශනාඥානය තියුණුව පවත්නා කල, සංස්කාරයන් යුහුව වැටහෙන කල, ඉපදීම හෝ, ස්ථිතිය හෝ, පැවැත්ම හෝ නිමිත්ත හෝ සිහියට නොනැඟෙයි; හුදෙක්, ක්‍ෂය-ව්‍යය භේද සහිත නිරෝධයෙහිම සිහිය පිහිටයි. ‘‘සංස්කාරයන් මෙසේ ඉපිද, මෙසේ නිරුද්ධ වෙති’යි දක්නා ඒ යෝගාවචරයාහට මේ අවස්ථායෙහිදී ‘භඞ්ගානුපස්සනා’ නම්වූ විදර්ශනා ඥානය උපදී. එම ඥානය සඳහා කියනලදි:-
‘අරමුණු මෙනෙහි කොට භංගය (බිඳීම) අනුව බැලීමෙන් උපන් ප්‍රඥාව විදර්ශනා ඥානය නම් වනුයේ කෙසේද? රූපය අරමුණු කොට උපන් සිත ඉපිද බිඳීයයි; ඉක්බිති එම අරමුණ (ක්‍ෂය-ව්‍යය වශයෙන්) මෙනෙහි කරමින්, එය බිඳී යාම අනුව බලයි, බලනුයේ කෙසේ බලාද? නිත්‍ය වශයෙන් නොව අනිත්‍ය වශයෙන් බලයි. සුඛ වශයෙන් නොව දුඃඛ වශයෙන් බලයි, ආත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් බලයි. කලකිරෙනු මිස තුටු නොවෙයි; දුරුවනු මිස නො-ඇලෙයි; නිරුද්ධ කරනු මිස නො-උපදවයි; අත්හරිනු මිස නො-ඇදගනියි:
අනිත්‍ය වශයෙන් බලනුයේ නිත්‍යසංඥාව හරියි; දුඃඛ වශයෙන් බලනුයේ සුඛ සංඥාව හරියි, අනාත්ම වශයෙන් බලනුයේ ආත්මසංඥාව හරියි; කලකිරෙනුයේ නන්‍දි (රාග)ය හරියි; නො-ඇලෙනුයේ ආදානය හරියි.
වේදනාව අරමුණු කොට උපන් සිත -පෙ-, සඤ්ඤාව අරමුණු කොට උපන් සිත -පෙ-, සංඛාරය අරමුණු කොට උපන් සිත -පෙ- විඤ්ඤාණය අරමුණු කොට උපන් සිත -පෙ-, ඇස අරමුණු කොට -පෙ- ජරාමරණයන් අරමුණු කොට උපන් සිත ඉපිද බිඳීයයි. -පෙ- නො-ඇලෙනුයේ ආදානය හරියි.’’
වත්‍ථු සඞ්කමනා චෙව පඤ්ඤාය ච විවට්ටනා
ආවජ්ජනා බලඤ්චෙව පටිසඞ්ඛා විපස්සනා
ආරම්මණන්‍වයෙනාපි උභො එක වවත්‍ථානා,
නිරොධෙ අධිමුත්තතා වය ලක්‍ඛණ විපස්සනා
ආරම්මණඤ්ච පටිසඞ්ඛා භඞ්ගඤ්ච අනුපස්සති
සුඤ්ඤතො ච උපට්ඨානං අධිපඤ්ඤා විපස්සනා
කුසලො තීසු අනුපස්සනාසු චතස්සො ච විපස්සනාසු
තයො උපට්ඨානෙ කුසලතා නානාදිට්ඨිසු න කම්පති
(පූර්ව) වස්තුවෙන් (අපර) වස්තුවට සංක්‍රමණයද, ප්‍රඥාවෙහි විවර්තනයද (පෙරළීමද), ආවර්ජන බලයදැ’යි යන මේ ‘පටිසඞ්ඛාවිපස්සනා’යි.
අරමුණ අනුව යාමෙන් (අතීත-අනාගත) දෙකට අයත් සංස්කාරයන් එක් සමාන වෙති’යි විනිශ්චය කිරීම හා නිරෝධය වෙතට නැඹුරු වීම ‘වය ලක්ඛණ විපස්සනා’යි.
අරමුණ මෙනෙහි කොට එම අරමුණුවල භංගය (බිඳීයාම) අනුව දැකීමද සංස්කාරයන් ශුන්‍ය වශයෙන් වැටහීමද ‘අධිපඤ්ඤා විපස්සනා’යි.
මෙකී අනුපස්සනාද, (නිබ්බිදාදී වූ) චතුර්විධ විපස්සනා විෂයයෙහිද, ත්‍රිවිධ උපට්ඨාන විෂයයෙහිද කුශලතාව හේතුකොටගෙන නොයෙක් ආකාර ඇති දෘෂ්ටි විෂයයෙහි සසල නොවේ. (මේ ගාථා සතරෙහි අර්ත්‍ථය අනතුරුව එළඹෙන ඡේද කීපයෙන් වඩාත් හොඳින් පැහැදිලි කොට ඇත.)
දන්නා ලදැ’යි යන අර්ත්‍ථයෙන් ‘ඤාණ’ නමි; ප්‍රජානන (මනාකොට දනිති’යි යන) අර්ත්‍ථයෙන් ‘පඤ්ඤා’ නමි. එහෙයින් ‘ආරම්මණ පටිසඞ්ඛා භඞ්ගානු පස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං” (අරමුණු මෙනෙහි කොට භංගයට අනුව බැලීමෙන් ලබාගත් ප්‍රඥාව විදර්ශනා ඥානයයි) කියනු ලැබේ.
එහි “ආරම්මණ පටිසඞ්ඛා” යනු, යම්කිසි රූපාදී අරමුණක් මෙනෙහි කොට දැන, ක්‍ෂය වශයෙන්ද ව්‍යය වශයෙන්ද දැකැ’යි යන අර්ත්‍ථයි. “භඞ්ගානුපස්සනෙ පඤ්ඤා” යනු, ඒ යෝගාවචරයාහට ක්‍ෂය වශයෙන්ද, ව්‍යය වශයෙන්ද අරමුණු මෙනෙහි කොට උපන් ඥානය බිඳී යාම අනුව බැලීමේදී යම් ප්‍රඥාවක් වේද, එය විදර්ශනා ඥානය’යි කියන ලදි. එය කෙසේ වේදැ’යි යන මෙය කියනු කැමැතිව, මෙසේ පළමුකොට ප්‍රශ්න කිරීමයි. (අරමුණු මෙනෙහි කොට භංගය අනුව බැලීමෙන් උපන් ප්‍රඥාව විදර්ශනා ඥානය වනුයේ කෙසේද?” යනුවෙන් ප්‍රශ්න කිරීමේ අර්ත්‍ථය එය විස්තර කොට කියනු කැමැත්තයි). ඉක්බිති එය කෙසේ වේදැ’යි දක්වනු පිණිස ‘රූපාරම්මණතා’ ආදිය කියන ලදි.
එහි ‘‘රූපය අරමුණු කොට උපන් සිත ඉපිද බිඳීයයි” යනු රූපය අරමුණු කොට ඇති වූ සිත ඉපිද බිඳී යයි’’ යන අර්ත්‍ථයි. “තං ආරම්මණං පටිසඞ්ඛා’’ (එම අරමුණ මෙනෙහි කොට) යනු, එම රූපාලම්බනය මෙනෙහි කොට දැන, ක්‍ෂය වශයෙන්ද ව්‍යය වශයෙන්ද දැකැ’යි යන අර්ත්‍ථයි. “තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති” (අනතුරුව එම සිතෙහි බිඳී යාමද බලයි) යනු, යම් සිතෙකින් එම රූපාලම්බනය ක්‍ෂය වශයෙන්ද, ව්‍යය වශයෙන්ද දක්නා ලද්දේද, එම සිතද වෙනත් සිතෙකින් බිඳී යාම දකී යන අර්ත්‍ථයි. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:- “ඤාතඤ්ච ඤාණඤ්ච උභො විපස්සති” (ඥාත හෙවත් දන්නා ලද දෙයද, ඥානය හෙවත් දැනීමද යන දෙකම දකියි” යනුවෙනි.
මෙහි, ‘අනුපස්සති’ යනු, යලි යලිදු බලයි, ත්‍රිලක්‍ෂණ වශයෙන් නැවත නැවතත් නොයෙක් ආකාරයෙන් බලයි’ යන අර්ත්‍ථයි. එහි ‘අනුපස්සති’යි කීහු; කෙසේ අනුව බලාද? අනිත්‍ය වශයෙන් යනාදිය වේ.
එහි, යම් හෙයකින් භංගය අනිත්‍යතාවෙහි අන්තිම කෙළවර වේද, එහෙයින් භංගය අනුව බලන යෝගාවචර තෙමේ සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලනු විනා නිත්‍ය වශයෙන් නොබලයි. ඉක්බිති අනිත්‍යය දුඃඛද වන හෙයින් හා දුඃඛය අනාත්මද වන හෙයින්, එයම දුඃඛ වශයෙන් මිස සුඛ වශයෙන් නොබලයි; අනාත්ම වශයෙන් නොව ආත්ම වශයෙන් නොබලයි.
යම් හෙයකින් වනාහි යමක් අනිත්‍යද, දුඃඛද, අනාත්මද වෙතොත් එය තොස් විය යුතු දෙයක් නොවේ; යමක් තොස් විය යුතු දෙයක් නොවෙතොත් එය ඇලුම් කළ යුතු දෙයක් නොවේ. එහෙයින් (මේ සංස්කාරයන්) භංගය අනුව බැලීම් වශයෙන් අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි දුටු කල්හි එම සංස්කාරයන් කෙරෙහි කලකිරෙයි, තොස් නොවෙයි, නො-ඇලෙයි, ඇලුම් නොකරයි, හේ තෙමේ මෙසේ නො-ඇලෙනුයේ, පළමුකොට ලෞකික වූ ඥානයෙන්ම රාගය වලක්වයි, නො-උපදවයි, සමුදය (ඉපදවීම) නොකරයි? යන අර්ත්‍ථයි.
නොහොත්, යමෙක් තෙමේ මෙසේ රාගරහිත වූයේ දක්නාලද සංස්කාරයන් යම් සේද, එසේම නොදක්නා ලද සංස්කාරයද අන්‍වයඥාන වශයෙන් වලක්වයි, නො-උපදවයි, නිරෝධ වශයෙන්ම මෙනෙහි කරයි, නිරෝධයම මිස සමුදයය නොබලයි යන අර්ත්‍ථයි.
මෙසේ පිළිපන් හේ තෙමේ ‘බැහැර කරයි, ආදානය (ඇදගැනීම) නොකරයි. කුමක් කියන ලද්දේද යත්, මේ අනිත්‍යාදී අනුපස්සනාව ස්කන්‍ධඅභිසංස්කාරයන් හා සමග ක්ලේශයන් තදඞ්ග වශයෙන් පහ කරන හෙයින් ‘පරිච්චා පටිනිස්සග්ග’ යයිද, සංස්කාර දෝෂයන් දක්නා හෙයින් හා (එම ස්කන්‍ධාදියට) විපරීත වූ නිර්වාණය වෙතට නැඹුරු වූ හෙයින් ‘පක්ඛන්‍ධන පටිනිස්සග්ග’ යයි ද කියනු ලැබේ. එහෙයින් එම අනුපස්සනාවෙන් සමන්විත භික්‍ෂු තෙමේ, මෙකී නයින් ක්ලේශයන්ද පහකරයි, නිවණ කරාද නැඹුරු වෙයි, ඉපැදීම් වශයෙන් ක්ලේශයන් නොඇදගනියි, දොස් නොදැකීම් වශයෙන් සංස්කාර-ආලම්බනයන් නොගනියි. එහෙයින් ‘පටිනිස්සජති’ (බැහැර කරයි) ‘නො ආදියති’ (වෙතට නො-ඇදගනියි) යයි කියනු ලැබේ.