උපක්කිලෙසවිමුත්තඋදයබ්බයඤාණකථා
අෂ්ටවිධ ඥානයන්ගේ වශයෙන් මුදුන්පත් වූ විදර්ශනාව හා නවවන සච්චානුලෝමික ඤාණයදැ’යි යන මේ (පිළිවෙළ) ‘පටිපදාඤාණ දස්සන විසුද්ධි නම් වේ. මෙහි අෂ්ටවිධ ඥානය නම් උපක්ලේශයන් කෙරෙන් මිදුණ වීථියට (නිසිමගට) පිළිපන්, විදර්ශනා සංඛ්‍යාත වූ, උදයබ්බයානුපස්සනා ඤාණය, භඞ්ගානුපස්සනා ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදීනවානුපස්සනා ඤාණය, නිබ්බදානුපස්සනා ඤාණය, මුඤ්චිතුකම්‍යතා ඤාණය, පටිසඞ්ඛානුපස්සනා ඤාණය, සඞ්ඛාරුපෙක්ඛා ඤාණය’යි යන මේ අටයයි දතයුතුය. නවවැන්න වූ සච්චානුලෝමික ඤාණයදැ’යි යන මෙය අනුලෝම ඤාණයට අධිවචනයෙකි. එහෙයින් එය සම්පාදනය කරනු කැමැත්තහු විසින් උපක්ලේශයන් කෙරෙන් මිදුණ උදයව්‍යයඥානය ආදි කොට ඇති මේ ඥානයන් කෙරෙහි යෝග කළයුතුය.
උදයව්‍යය ඥාන විෂයයෙහි යලිත් යෝග කිරීම කවර අර්ත්‍ථයක් සඳහාද යත්: තිලකුණු සිහිතබා ගැනීම සඳහාය. උදයව්‍යය ඥානය යටකී දශ උපක්ලේශයන්ගෙන් කිලිටි වීමෙන් නිසි පරිදි තිලකුණු සැලකීමට නොහැකි වේ; උපක්ලේශයන් කෙරෙන් මිදුණේම හැකි වේ. එහෙයින් තිලකුණු සැලකීමේ ප්‍රයෝජනය සඳහා යලිදු මෙහි යෝග කටයුතුය.
කුමක් මෙනෙහි නොකිරීමෙන්, කිමෙකින් වැසීයාමෙන්, තිලකුණු නොවැටහේද යත්, පළමුකොට අනිත්‍ය ලක්‍ෂණය උදයව්‍යය මෙනෙහි නොකිරීමෙන්, සන්තතියෙන් වැසී යාමෙන් නොවැටහෙයි. දුඃඛ ලක්‍ෂණය නිරන්තරයෙන් (සංස්කාරයන්ගෙන් ඇති වන) පීඩනය මෙනෙහි නොකිරීමෙන්, ඉරියවුවලින් වැසීයාමෙන් නොවැටහෙයි. අනාත්ම ලක්‍ෂණය, නොයෙක් ධාතූන් එකිනෙක වෙන්කොට මෙනෙහි නොකිරීමෙන්, ගහන බවින් වැසීයාමෙන් නොවැටහෙයි. එහෙත්, උදයව්‍යයය මෙනෙහි කොට සන්තතිය සිඳලූ කල අනිත්‍ය ලක්‍ෂණය යථාතත්‍වයෙන් වැටහෙයි; නිරන්තර පීඩනය මෙනෙහිකොට ඉරියවු උගුළුවාලූ කල දුඃඛ ලක්‍ෂණය යථාස්වභාවයෙන් වැටහෙයි; නානා ධාතූන් විග්‍රහ කොට එකිනෙක වෙන් කළ විට අනාත්ම ලක්‍ෂණය යථා ස්වභාවයෙන් වැටහෙයි.
තවද, මෙහි, අනිත්‍යය, අනිත්‍ය ලක්‍ෂණය, දුඃඛය, දුඃඛලක්‍ෂණය, අනාත්මය, අනාත්ම ලක්‍ෂණය යන මේ විභාගයද දතයුතුය. එහි අනිත්‍යය නම්, ස්කන්‍ධ පංචකයයි. කවර හෙයින්ද? ඉපිද වැය වී අන්‍යථාභාවයට (වෙනස්බවට) යන හෙයිනි; නොහොත්, ඇතිව නැතිවී යන හෙයිනි. ඉපිද ජරාවට පත්වීමෙන් අන්‍යථාභාවයට පත්වීම අනිත්‍ය ලක්‍ෂණයයි; නොහොත් ඇතිව නැති වීමය යයි කියන ලද ආකාර-විකාරය අනිත්‍ය ලක්‍ෂණයයි.
“යදනිච්චං තං දුක්ඛං” (යමක් අනිත්‍ය වේද, එය දුඃඛ වේ) යයි කී හෙයින් එම ස්කන්‍ධ පංචකය දුඃඛද වේ; කවර හෙයින්ද? නිරන්තරයෙන් පීඩා ගෙන දෙන හෙයිනි. නිරන්තරයෙන් පීඩා දනවන ආකාරය දුඃඛ ලක්‍ෂණයයි.
“යං දුක්‍ඛං තදනත්තා” (යමක් දුක්වේද, එය අනාත්ම වේ) යන වචනයෙන් එම ස්කන්‍ධ පංචකය අනාත්මද වේ; කවර හෙයින්ද? වශයෙහි නොපවත්නා හෙයිනි. වශයෙහි නොපවත්නා ස්වභාවය අනාත්ම ලක්‍ෂණයයි.
ඒ මේ සියල්ල මේ යෝගාවචර තෙමේ උපක්ලේශයන්ගෙන් විනිර්මුක්ත, වීථිපටිපන්න (නිසිමගට පිළිපන්) විදර්ශනා සංඛ්‍යාත උදය ව්‍යායානුදර්ශන ඥානයෙන් තතු සේ දකියි.
භඞ්ගානුපස්සනා ඤාණය
මේ ආකාරයෙන් සලකමින්, යලි යලිදු “අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි රූපාරූප ධර්මයන් තුලනය කරමින්, තීරණය කරන විට, විදර්ශනාඥානය තියුණු වීමෙන් සංස්කාරයෝ යුහුව වැටහෙයි. විදර්ශනාඥානය තියුණුව පවත්නා කල, සංස්කාරයන් යුහුව වැටහෙන කල, ඉපදීම හෝ, ස්ථිතිය හෝ, පැවැත්ම හෝ නිමිත්ත හෝ සිහියට නොනැඟෙයි; හුදෙක්, ක්‍ෂය-ව්‍යය භේද සහිත නිරෝධයෙහිම සිහිය පිහිටයි. ‘‘සංස්කාරයන් මෙසේ ඉපිද, මෙසේ නිරුද්ධ වෙති’යි දක්නා ඒ යෝගාවචරයාහට මේ අවස්ථායෙහිදී ‘භඞ්ගානුපස්සනා’ නම්වූ විදර්ශනා ඥානය උපදී. එම ඥානය සඳහා කියනලදි:-
‘අරමුණු මෙනෙහි කොට භංගය (බිඳීම) අනුව බැලීමෙන් උපන් ප්‍රඥාව විදර්ශනා ඥානය නම් වනුයේ කෙසේද? රූපය අරමුණු කොට උපන් සිත ඉපිද බිඳීයයි; ඉක්බිති එම අරමුණ (ක්‍ෂය-ව්‍යය වශයෙන්) මෙනෙහි කරමින්, එය බිඳී යාම අනුව බලයි, බලනුයේ කෙසේ බලාද? නිත්‍ය වශයෙන් නොව අනිත්‍ය වශයෙන් බලයි. සුඛ වශයෙන් නොව දුඃඛ වශයෙන් බලයි, ආත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් බලයි. කලකිරෙනු මිස තුටු නොවෙයි; දුරුවනු මිස නො-ඇලෙයි; නිරුද්ධ කරනු මිස නො-උපදවයි; අත්හරිනු මිස නො-ඇදගනියි:
අනිත්‍ය වශයෙන් බලනුයේ නිත්‍යසංඥාව හරියි; දුඃඛ වශයෙන් බලනුයේ සුඛ සංඥාව හරියි, අනාත්ම වශයෙන් බලනුයේ ආත්මසංඥාව හරියි; කලකිරෙනුයේ නන්‍දි (රාග)ය හරියි; නො-ඇලෙනුයේ ආදානය හරියි.
වේදනාව අරමුණු කොට උපන් සිත -පෙ-, සඤ්ඤාව අරමුණු කොට උපන් සිත -පෙ-, සංඛාරය අරමුණු කොට උපන් සිත -පෙ- විඤ්ඤාණය අරමුණු කොට උපන් සිත -පෙ-, ඇස අරමුණු කොට -පෙ- ජරාමරණයන් අරමුණු කොට උපන් සිත ඉපිද බිඳීයයි. -පෙ- නො-ඇලෙනුයේ ආදානය හරියි.’’
වත්‍ථු සඞ්කමනා චෙව පඤ්ඤාය ච විවට්ටනා
ආවජ්ජනා බලඤ්චෙව පටිසඞ්ඛා විපස්සනා
ආවජ්ජනා බලඤ්චෙව පටිසඞ්ඛා විපස්සනා
ආරම්මණන්‍වයෙනාපි උභො එක වවත්‍ථානා,
නිරොධෙ අධිමුත්තතා වය ලක්ඛණ විපස්සනා
නිරොධෙ අධිමුත්තතා වය ලක්ඛණ විපස්සනා
ආරම්මණඤ්ච පටිසඞ්ඛා භඞ්ගඤ්ච අනුපස්සති
සුඤ්ඤතො ච උපට්ඨානං අධිපඤ්ඤා විපස්සනා
සුඤ්ඤතො ච උපට්ඨානං අධිපඤ්ඤා විපස්සනා
කුසලො තීසු අනුපස්සනාසු චතස්සො ච විපස්සනාසු
තයො උපට්ඨානෙ කුසලතා නානාදිට්ඨිසු න කම්පති
තයො උපට්ඨානෙ කුසලතා නානාදිට්ඨිසු න කම්පති
(පූර්ව) වස්තුවෙන් (අපර) වස්තුවට සංක්‍රමණයද, ප්‍රඥාවෙහි විවර්තනයද (පෙරළීමද), ආවර්ජන බලයදැ’යි යන මේ ‘පටිසඞ්ඛාවිපස්සනා’යි.
අරමුණ අනුව යාමෙන් (අතීත-අනාගත) දෙකට අයත් සංස්කාරයන් එක් සමාන වෙති’යි විනිශ්චය කිරීම හා නිරෝධය වෙතට නැඹුරු වීම ‘වය ලක්ඛණ විපස්සනා’යි.
අරමුණ මෙනෙහි කොට එම අරමුණුවල භංගය (බිඳීයාම) අනුව දැකීමද සංස්කාරයන් ශුන්‍ය වශයෙන් වැටහීමද ‘අධිපඤ්ඤා විපස්සනා’යි.
මෙකී අනුපස්සනාද, (නිබ්බිදාදී වූ) චතුර්විධ විපස්සනා විෂයයෙහිද, ත්‍රිවිධ උපට්ඨාන විෂයයෙහිද කුශලතාව හේතුකොටගෙන නොයෙක් ආකාර ඇති දෘෂ්ටි විෂයයෙහි සසල නොවේ. (මේ ගාථා සතරෙහි අර්ත්‍ථය අනතුරුව එළඹෙන ඡේද කීපයෙන් වඩාත් හොඳින් පැහැදිලි කොට ඇත.)