විපස්සනුපක්කිලෙසකථා
ඉක්බිත්තෙන් මේ තරුණ විදර්ශනායෙන් විදර්ශනාව ආරම්භ කළ යෝගියාහට දශ විදර්ශනෝපක්ලේශයෝ උපදනාහ. විදර්ශනෝපක්ලේශයෝ වනාහි ප්රතිවේධයට පත් ආර්ය ශ්රාවකයාට මෙන්ම ශීල විපත්ති ආදියෙන් නොමගට පිළිපන්, කර්මස්ථානයෙන් ගිලිහුණු, කුසීත පුද්ගලයාහටද නො-උපදිති. නිසිමගට පිළිපන්, සැදී පැහැදී විදර්ශනාව ආරම්භ කළ කුලපුත්රයාහටම උපදිති.
ඒ දශ උපක්ලේශයෝ කවරහුද යත්:- ඕභාසය, ඥානය, ප්රීතිය, පස්සද්ධිය, සුඛය, අධිමොක්ඛය, පග්ගහ (වීර්ය) ය, උපට්ඨාන (ස්මෘති) ය, උපේක්ෂාය, නිකන්තිය යන මොහුය. කියන ලදමැයි:-
“කෙසේනම් ධර්ම-ඖද්ධත්යයෙන් (මාර්ග-ඵලාවබෝධයට ප්රථම ඇති වන සිත් කැළඹීමෙන්) ගන්නා ලද මනස ඇති වේද යත්: අනිත්ය වශයෙන් මෙනෙහි කරන්නහුට ඕභාසය උපදී, එම ඕභාසය (මාර්ග) ධර්මය’යි වැරද ගෙන එය (ඕභාසය) ආවර්ජනය කරයි, එයින් ඇති වන (මානසික) නොසන්සුන්කම ‘උද්ධච්ච’ නමි, එම උද්ධච්චය විසින් මඩනා ලද මනස් ඇති යෝගාවචර තෙමේ අනිත්ය වශයෙන් වැටහීම තතු ලෙස නොදනී, දුඃඛ වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් වැටහීම තතු ලෙස නොදනී;
එසේ අනිත්ය වශයෙන් මෙනෙහි කරන්නහුට ‘ඥානය’ උපදී -පෙ- ප්රීති’ය -පෙ-, ‘පස්සද්ධිය’, -පෙ-, සුඛය’, -පෙ- ‘අධිමොක්ඛය’ -පෙ- ‘පග්ගහ’ය, -පෙ- ‘උපට්ඨානය, -පෙ- උපේක්ෂාව’, -පෙ- නිකන්ති’ය උපදී, -පෙ- නිකන්තිය ධර්ම මාර්ගය’යි වැරද ගෙන එම ‘නිකන්තිය ආවර්ජනය කරයි; එයින් ඇතිවන වික්ඛේපය ‘උද්ධච්ච’ යයි. එම උද්ධච්චයෙහි මඩනා ලද සිත් ඇත්තේ අනිත්ය වශයෙන් වැටහීම තතු ලෙස නොදනී, දුඃඛ වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් වැටහීම තතු ලෙස නොදනී” යනුයි.
එහි ‘ඕභාස’ යනු, විදර්ශනෝභාසයයි, එය උපන් කල යෝගාවචර තෙමේ, “මින් පෙර මට ඒකාන්තයෙන් මෙවන් අවභාසයක් (ආලෝකයක්) නොවූ විරූය, ඒකාන්තයෙන් මාර්ගයට පැමිණියේ වෙමි, ඵලයට පැමිණියේ වෙමි”යි මාර්ග නොවන්නක්ම මාර්ගයයි, ඵල නොවන්නක්ම ඵලයයි වරදවා ගනියි; අමාර්ගය මාර්ගයයි, අඵලය ඵලය’යි ගන්නහුට විදර්ශනාවීථිය නොමගට වැටුණා නම් වේ. හේ තෙමේ තමාගේ මුල් කර්මස්ථානය හැර-පියා ඕභාසයම ආස්වාදනය කෙරෙමින් හිඳියි:
ඒ මේ ඕභාසය වනාහි ඇතැම් භික්ෂු කෙනකුට පර්යංකස්ථානය පමණක් ආලෝකවත් කෙරෙමින් උපදියි, ඇතැමකුට ඇතුළු ගබ පමණද, ඇතැමකුට පිට ගබද, ඇතැමකුට මුළු විහාරයමද, ගව්වක් පමණද, අඩ යොදුනක් පමණද, යොදුනක් පමණද දෙ-තුන් යොදුනක් පමණද, කිසිවකුට පොලෝතෙලෙහි පටන් අකනිටා බඹලොව දක්වාද ඒකාලෝක කරමින් පහළ වෙයි. භාග්යවතුන් වහන්සේට වනාහි දසදහසක් ලෝකධාතුව බඹලවමින් පහළ විය.
මෙසේ අවභාව විවිධත්වය දක්වනු සඳහා මේ කථා වස්තුවෙකි: සිතුල්පවු වෙහෙරෙහි, දෙබිති ගෙයක් (ගර්භ භික්තිය හා ආලින්දය වටා පිහිටි භික්තිය සහිත කුටියක්) තුළ තෙරුන් දෙනමක් හුන්නාහ. දවසද කළුවර දෙපෝදා දිනයෙක් විය; දිශාවෝ ද වළාපටලයෙන් වැසී ගත්හ, රාත්රිභාගයෙහි චතුරංග සමන්නාගත අන්ධකාරය පවතියි; එවේලෙහි එක් තෙර නමක්, “ස්වාමීනි, මට සෑ-මළුවෙහි ඇති සිංහාසනයෙහි (සිංහ රූප සහිත මලසුනෙක්හි) පස් පැහැ ඇති මල් පෙනේය’යි කීය; අනෙක් තෙර නම, “ඇවැත්නි, එය පුදුමයක් නොවේ, මට දැන් මහ මුහුදෙහි යොදුනක් පමණ තන්හි මස්-කැස්බෝ පෙනෙති’යි කීය.
මේ විදර්ශනෝපක්ලේශය වනාහි බොහෝ සෙයින් සමථ විදර්ශනා ලාභියාහට උපදී; හේ තෙමේ සමවතින් යටපත් වූ ක්ලේශයන්ගේ නොපැළඹීමේ හේතුවෙන් “මා රහත් වූ වනැ”යි යන සිත උපදවයි. උච්චවාලිකවාසී මහානාග තෙරුන්ද, හංකනවාසී මහාදත්ත තෙරුන්ද, සිතුල් පව්වෙහි නිකපෙනෙක පධානඝරවාසී චුල්ලසුමන තෙරුන්ද මෙනි.
එහිලා මේ එක් කථා වස්තුවක් ගෙන හැර දැක්වීමයි:- තලංගරවාසී ධම්මදින්න නම් සිවුපිළිසිඹියා පත් මහ රහත් තෙර කෙනෙක් බොහෝ වූ භික්ෂු සංඝයාහට අවවාද දෙමින් වැඩ සිටියහ. එක් දවසක් උන්වහන්සේ ස්වකීය දිවාස්ථානයෙහි හිඳ “අපගේ ආචාර්ය උච්චවාලිකවාසී මහානාග ස්ථවිරයන් වහන්සේගේ මහණකම මුදුන් පත් වූයේ දෝ-හෝ”යි බලන්නාහු, ඔවුන් වහන්සේ තවමත් පෘථග්ජන භාවයෙහි සිටි බව දැක, ‘මා එහි නොගියහොත් පෘථග්ජනයකුව සිටියදීම කාලක්රියා කරන්නාහුය’යි දැන සෘද්ධි බලයෙන් අහසට නැග දිවාස්ථානයෙහි හුන් තෙරුන් සමීපයෙහි බැස, වැඳ වත්පිළිවෙත් දක්වා, එකත් පසෙක හුන්නාහුය. “ඇවැත්නි, ධම්මදින්නයෙනි, කවර හෙයින් අකාලයෙහි ආවහුදැ’යි විචාළ කල්හි, “ස්වාමීනි, ප්රශ්නයක් ඇසීමට ආවෙමි”යි කීහ. “ඇවැත්නි, අසනුය, දනිතොත් කියම්හ”යි පැවසූ කල්හි පැන දහස් ගණනක් විචාළහ.