මග්ගාමග්ගවවත්ථානකථා
එහෙත් දක්‍ෂ වූ, පණ්ඩිත වූ, ව්‍යක්ත වූ, බුද්ධිසම්පන්න වූ යෝගාවචර තෙමේ ඕභාස ආදිය උපන් කල, “මට මේ උපන්නේ ඕභාසයයි, ඒ ඕභාසය වනාහි අනිත්‍යය, සංඛතය, පටිච්චසමුප්පන්නය, ගෙවී යන සුලුය, වැය වන සුලුය, වැනසෙන සුලුය, නිරුද්ධවන සුලුය’යි මෙසේ එය ප්‍රඥාවෙන් පිරිසිඳ බලයි, පිරික්සයි, නැතහොත් ඔහුට මෙවන් අදහසෙක් පහළ වෙයි, “ඉදින් ඕභාසය ආත්මය වෙතොත්, ආත්මය’යි ගත යුතුය, (එහෙත්) මේ ආත්මය’යි ගන්නා ලද්දේ ආත්ම නොවන්නෙකි. එහෙයින් එය තමා වශයෙහි නොපවත්නේය, එහෙයින් අනාත්මය, ඇතිව නැතිවී යන හෙයින් අනිත්‍යය, උදයව්‍යය වශයෙන් පෙළන හෙයින් දුඃඛය”යි යන මේ සියල්ල යට අරූප සප්තකයෙහි කියන ලද නයින් විස්තර කළ යුතුය. ඕභාස විෂයයෙහි යම්සේද සෙසු උපක්ලේශ විෂයයෙහිද එසේමය.
ඒ යෝගාවචර තෙමේ මෙසේ ඕභාසය පරීක්‍ෂාකොට, “මෙය මාගේ නොවෙයි,” “මේ මම් නොවෙමි”, මේ මාගේ ආත්මය නොවෙයි,” යනුවෙන් මැනවින් දකියි, ඤාණය-පෙ- නිකන්තිය-පෙ- “මෙය මාගේ නොවෙයි”, මේ මම් නොවෙමි’’ මේ මගේ ආත්මය නොවෙයි’’ යනුවෙන් මැනවින් දකියි; මෙසේ මැනවින් දක්නේ ඕභාසාදියෙහි නො-ඇලෙයි, නොසැලෙයි. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-
ඉමානි දස ඨානානි පඤ්ඤාය’ස්ස පරිචිතා
ධම්මුද්ධච්ච කුසලො හොති නච වික්‍ඛෙපං ගච්ඡති
මේ ඕභාස ආදී කරුණු දසය පුරුදු කළ ප්‍රඥාව යමකුට වේද, (ඒ යෝගී තෙමේ) ඕභාස ආදිය ධර්ම මාර්ගයයි වරදවා නොගැනීමෙහි දක්‍ෂ වූයේ වික්‍ෂේපයට නොපැමිණෙයි.
ඒ යෝගාවචර තෙමේ මෙසේ වික්‍ෂේපයට නොයනුයේ එම සමතිස් වැදෑරුම් උපක්ලේශ ජටාව (අවුල) නිරවුල් කොට ගෙන, ඕභාසාදීය ධර්ම මාර්ගය නොවෙති’යිද, උපක්ලේශයන්ගෙන් මිදුණ, වීථියට පිළිපන් විදර්ශනා ඥානය (නිවැරදි) මාර්ගය වෙතැ’යිද, මග නොමග විනිශ්චය කරයි. මෙසේ ඔහුගේ, “මේ මගය, මේ නොමගය”යි මග නොමග දැන සිටි ඥානය ‘මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි’ යයි දතයුතුය.
මෙතෙකින් වනාහි ඒ යෝගාවචරයා විසින් සත්‍ය-ත්‍රයයක් විනිශ්චය කරන ලද්දේ වේ; කෙසේද යත්:- පළමුකොට දිට්ඨි විසුද්ධිය මගින් නාමරූප ව්‍යවස්ථාපනයෙන් දුඃඛ සත්‍යය පිළිබඳ ව්‍යවස්ථානය කරන ලදි; කංඛාවිතරණ විසුද්ධියෙහි ප්‍රත්‍යය-පරිග්‍රහණයෙන් සමුදය-සත්‍යය පිළිබඳ ව්‍යවස්ථානය කරන ලදි; මෙම මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධියෙහි සම්‍යග් මාර්ගය අවධාරණය කිරීමෙන් මාර්ග සත්‍යය පිළිබඳ ව්‍යවස්ථානය කරන ලදි. මෙසේ පළමුකොට ලෞකික ඥානයෙන්ම මේ ත්‍රිවිධ සත්‍යයන් පිළිබඳ ව්‍යවස්ථානය කරන ලද්දේ වේ.
සාධුජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධි මාර්ගයෙහි පඤ්ඤාභාවනාධිකාරයෙහි මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිනිද්දේස නම්වූ විසිවන පරිච්ඡේදය මෙතෙකින් සමාප්තයි.
21. පටිපදාඤාණ දස්සන විසුද්ධි නිද්දේසය
උපක්කිලෙසවිමුත්තඋදයබ්බයඤාණකථා
අෂ්ටවිධ ඥානයන්ගේ වශයෙන් මුදුන්පත් වූ විදර්ශනාව හා නවවන සච්චානුලෝමික ඤාණයදැ’යි යන මේ (පිළිවෙළ) ‘පටිපදාඤාණ දස්සන විසුද්ධි නම් වේ. මෙහි අෂ්ටවිධ ඥානය නම් උපක්ලේශයන් කෙරෙන් මිදුණ වීථියට (නිසිමගට) පිළිපන්, විදර්ශනා සංඛ්‍යාත වූ, උදයබ්බයානුපස්සනා ඤාණය, භඞ්ගානුපස්සනා ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදීනවානුපස්සනා ඤාණය, නිබ්බදානුපස්සනා ඤාණය, මුඤ්චිතුකම්‍යතා ඤාණය, පටිසඞ්ඛානුපස්සනා ඤාණය, සඞ්ඛාරුපෙක්ඛා ඤාණය’යි යන මේ අටයයි දතයුතුය. නවවැන්න වූ සච්චානුලෝමික ඤාණයදැ’යි යන මෙය අනුලෝම ඤාණයට අධිවචනයෙකි. එහෙයින් එය සම්පාදනය කරනු කැමැත්තහු විසින් උපක්ලේශයන් කෙරෙන් මිදුණ උදයව්‍යයඥානය ආදි කොට ඇති මේ ඥානයන් කෙරෙහි යෝග කළයුතුය.
උදයව්‍යය ඥාන විෂයයෙහි යලිත් යෝග කිරීම කවර අර්ත්‍ථයක් සඳහාද යත්: තිලකුණු සිහිතබා ගැනීම සඳහාය. උදයව්‍යය ඥානය යටකී දශ උපක්ලේශයන්ගෙන් කිලිටි වීමෙන් නිසි පරිදි තිලකුණු සැලකීමට නොහැකි වේ; උපක්ලේශයන් කෙරෙන් මිදුණේම හැකි වේ. එහෙයින් තිලකුණු සැලකීමේ ප්‍රයෝජනය සඳහා යලිදු මෙහි යෝග කටයුතුය.
කුමක් මෙනෙහි නොකිරීමෙන්, කිමෙකින් වැසීයාමෙන්, තිලකුණු නොවැටහේද යත්, පළමුකොට අනිත්‍ය ලක්‍ෂණය උදයව්‍යය මෙනෙහි නොකිරීමෙන්, සන්තතියෙන් වැසී යාමෙන් නොවැටහෙයි. දුඃඛ ලක්‍ෂණය නිරන්තරයෙන් (සංස්කාරයන්ගෙන් ඇති වන) පීඩනය මෙනෙහි නොකිරීමෙන්, ඉරියවුවලින් වැසීයාමෙන් නොවැටහෙයි. අනාත්ම ලක්‍ෂණය, නොයෙක් ධාතූන් එකිනෙක වෙන්කොට මෙනෙහි නොකිරීමෙන්, ගහන බවින් වැසීයාමෙන් නොවැටහෙයි. එහෙත්, උදයව්‍යයය මෙනෙහි කොට සන්තතිය සිඳලූ කල අනිත්‍ය ලක්‍ෂණය යථාතත්‍වයෙන් වැටහෙයි; නිරන්තර පීඩනය මෙනෙහිකොට ඉරියවු උගුළුවාලූ කල දුඃඛ ලක්‍ෂණය යථාස්වභාවයෙන් වැටහෙයි; නානා ධාතූන් විග්‍රහ කොට එකිනෙක වෙන් කළ විට අනාත්ම ලක්‍ෂණය යථා ස්වභාවයෙන් වැටහෙයි.
තවද, මෙහි, අනිත්‍යය, අනිත්‍ය ලක්‍ෂණය, දුඃඛය, දුඃඛලක්‍ෂණය, අනාත්මය, අනාත්ම ලක්‍ෂණය යන මේ විභාගයද දතයුතුය. එහි අනිත්‍යය නම්, ස්කන්‍ධ පංචකයයි. කවර හෙයින්ද? ඉපිද වැය වී අන්‍යථාභාවයට (වෙනස්බවට) යන හෙයිනි; නොහොත්, ඇතිව නැතිවී යන හෙයිනි. ඉපිද ජරාවට පත්වීමෙන් අන්‍යථාභාවයට පත්වීම අනිත්‍ය ලක්‍ෂණයයි; නොහොත් ඇතිව නැති වීමය යයි කියන ලද ආකාර-විකාරය අනිත්‍ය ලක්‍ෂණයයි.
“යදනිච්චං තං දුක්ඛං” (යමක් අනිත්‍ය වේද, එය දුඃඛ වේ) යයි කී හෙයින් එම ස්කන්‍ධ පංචකය දුඃඛද වේ; කවර හෙයින්ද? නිරන්තරයෙන් පීඩා ගෙන දෙන හෙයිනි. නිරන්තරයෙන් පීඩා දනවන ආකාරය දුඃඛ ලක්‍ෂණයයි.