උදයබ්බයඤාණකථා
මෙසේ ඒ යෝගාවචර තෙමේ අනිච්චානුපස්සනා ආදියට ප්‍රතිපක්‍ෂ නිත්‍යසංඥා ආදිය පහකිරීමෙන් පිරිසුදු වූ ඥාන ඇතිව, සම්මර්ශන ඥානයෙහි පරතෙර පත්ව, එම සම්මර්ශන ඥානයට අනතුරුව, “ප්‍රත්‍යුත්පන්න (පවත්නා) ධර්මයන් විපරිණාමයට අනුව දැකීමේ ප්‍රඥාව උදයව්‍යයානු දර්ශනයයි’’ යනුවෙන් යම් ඒ උදයබ්බයානුපස්සනාවක් කියන ලද්දේද, එය ප්‍රතිවේධ කිරීම පිණිස භාවනානුයෝගය අරඹයි. එසේ අරඹනුයේද, පළමුකොට සංක්‍ෂේප වශයෙන් අරඹයි; එහි පෙළ මෙසේයි,
කෙසේද යත්:- “ප්‍රත්‍යුත්පන්න ධර්මයන් විපරිණාමයට අනුව දැකීමේ ප්‍රඥාව උදයබ්බයානුපස්සනා ඤාණයයි; හටගත් රූපය ප්‍රත්‍යුත්පන්නයි, එහි හටගැනීමේ ලක්‍ෂණය ‘උදයයි’, ‘විපරිණාම ලක්‍ෂණය ‘ව්‍යය’යි, අනුව දැකීම ‘ඥාන’යි; හටගත් වේදනාව -පෙ- සඤ්ඤාව -පෙ- සංඛාරය -පෙ- විඤ්ඤාණය -පෙ- හටගත් චක්‍ඛුව, -පෙ- හටගත් භවය ප්‍රත්‍යුත්පන්නයි, එහි හටගැනීමේ ලක්‍ෂණය ‘උදයයි, විපරිණාම ලක්‍ෂණය ‘ව්‍යය’යි, අනුව දැකීම ‘ඥාන’යි, යනුවෙනි.
ඒ යෝගාවචර තෙමේ මේ පෙළ නයට අනුව, හටගත් නාමරූපයන් හටගත් ආකාරය, ජාතිය හෙවත් ඉපදීම, අභිනව ස්වභාවය ‘උදය’යි, විපරිණාම ලක්‍ෂණය, ක්‍ෂය වීමයි, බිඳීයාම ව්‍යයයි යනුවෙන් සම්මර්ශනය කරයි. හේ තෙමේ මෙසේ අවබෝධ කරයි, ‘‘මේ නාම-රූපය ඉපැදීමට ප්‍රථම, නූපන් නාම-රූපයෙහි රාසි (එක්රැස්) වීමක් හෝ නිචය (පිඬු) වීමක් නැත; උපදනා වූද නාමරූපයෙහි රාශි වශයෙන් හෝ නිචය වශයෙන් ආගමනයක් නැත; නිරුද්ධ වන්නාවූද නාම-රූපයෙහි දිශාවකට හෝ අනුදිශාවකට යාමක් නැත; නිරුද්ධවූද නාම-රූපයෙහි එක් තැනෙක්හි රාශි වශයෙන් හෝ පිණ්ඩ වශයෙන් හෝ නිධාන වශයෙන් රැඳී සිටීමෙක් නම් නැත; යම්සේ වනාහි වීණාව වාදනය කරන විට උපදනා ශබ්දයෙහි ඉපැදීමට ප්‍රථම පිඬුවීමෙක් නැත්තේද, උපදනා විට හෝ පිඬුවීමෙක් නො-ආයේද, නිරුද්ධ වන විට හෝ දිශානුදිශාවකට යාමක් නොමැත්තේ වේද, නිරුද්ධ වූයේ හෝ කිසි තැනෙක්හි එක් රැස්ව නොසිටීද, එතෙකුදු වූවත් වීණාව හා උපවීණයද (වාදක) පුරුෂයාගේ තදීය (ඒ සඳහා වූ) ව්‍යායාමයද නිසා පෙර නොවූ ශබ්දය හටගනීද, හටගෙන නැතිවීයාද, මෙසේ සියලු නාම-රූප ධර්මයෝද පෙර ඇති වීමක් නැතිව හටගනිති; හටගෙන නැති වී යති” යනුවෙනි.
මෙසේ සංක්‍ෂේප වශයෙන් උදය-ව්‍යය මනස්කාරය (ඉපදීම හා නැතිවීම මෙනෙහි) කොට යලිදු, මේ උදයව්‍යය ඥානය පිළිබඳවම විභඞ්ගයෙහි,
අවිජ්ජා සමුදයයෙන් රූප සමුදයය වෙති’යි ප්‍රත්‍යය සමුදයාර්ත්‍ථයෙන් රූපස්කන්‍ධයෙහි පහළ වීම දකියි; තණ්හා සමුදයයෙන් -පෙ- කම්ම සමුදයයෙන් -පෙ- ආහාර සමුදයයෙන් රූප සමුදයය වෙති’යි ප්‍රත්‍යය - සමුදයාර්ත්‍ථයෙන් රූපස්කන්‍ධයෙහි පහළ-වීම දකියි; නිබ්බත්ති (උත්පත්ති) ලක්‍ෂණය දකිනුයේද රූපස්කන්‍ධයෙහි පහළ වීම දකියි; රූපස්කන්‍ධයෙහි පහළවීම දකිනුයේ මේ පංච ලක්‍ෂණයන් දකියි.
අවිජ්ජා නිරෝධයෙන් රූප නිරෝධය වෙති’යි ප්‍රත්‍යය-නිරෝධාර්ත්‍ථයෙන් රූපස්කන්‍ධයෙහි නැතිවීම දකියි, තණ්හා නිරෝධයෙන් -පෙ- කම්ම නිරෝධයෙන් -පෙ- ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙති’යි ප්‍රත්‍යය නිරෝධාර්ත්‍ථයෙන් රූපස්කන්‍ධයෙහි අභාවය දකියි; විපරිණාම ලක්‍ෂණය දකිනුයේද රූපස්කන්‍ධයෙහි අභාවය දකියි; රූපස්කන්‍ධයෙහි අභාවය දක්නේද, මේ පංච ලක්‍ෂණයන් දකියි.
එසේම අවිද්‍යා සමුදයයෙන් වේදනා සමුදයය වෙති’යි ප්‍රත්‍යය සමුදයාර්ත්‍ථයෙන් වේදනා ස්කන්‍ධයෙහි උපත දකියි, තණ්හා සමුදයයෙන් කම්ම සමුදයයද, ඵස්ස සමුදයයෙන් වේදනා සමුදයයද වෙති’යි ප්‍රත්‍යයසමුදයාර්ත්‍ථයෙන් වේදනා ස්කන්‍ධයෙහි උපත දකියි; උත්පත්ති ලක්‍ෂණය දක්නේද වේදනා ස්කන්‍ධයෙහි උපත දකියි, වේදනා ස්කන්‍ධයෙහි උපත දක්නේ මේ පංච ලක්‍ෂණයන් දකියි. අවිජ්ජා නිරෝධයෙන් - තණ්හා නිරෝධයෙන් - කම්ම නිරෝධයෙන් - ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වෙති’යි ප්‍රත්‍යය නිරෝධාර්ත්‍ථයෙන් වේදනා ස්කන්‍ධයෙහි අභාවය දකියි; විපරිණාම ලක්‍ෂණය දක්නේද වේදනා ස්කන්‍ධයෙහි අභාවය දක්නේ මේ පංච ලක්‍ෂණයන් දකියි.