අරූපසත්තකසම්මසනකථා
“අරූප සත්තක වසෙන” යනුවෙන් යමක් කියන ලද්දේද, එහි මාතෘකා මෙසේයි:- කලාපතෝ (කලාප වශයෙන්) යමකතෝ (යුගල වශයෙන්) ඛණිකතෝ (ක්‍ෂණික වශයෙන්) පටිපාටිතො (පිළිවෙළ වශයෙන්) දිට්ඨිඋග්ඝාටනතෝ (දෘෂ්ටීන් උගුලවා දැමීම) මාන සමුග්ඝාටනතෝ (මානය උපුටා දැමීම) හා නිකන්ති පරියාදානතෝ (නිකන්ති’ යනුවෙන් හැඳින්වෙන සියුම් තෘෂ්ණාව අවසන් කිරීම) යන සත් ආකාරයෙනි.
එහි ‘කලාපතො’ යනු, ඵස්ස පඤ්චමක (ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත) ධර්මයෝයි; කලාප වශයෙන් කෙසේ සම්මර්ශනය කෙරේද යත්, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ මෙසේ මෙනෙහි කරයි:- “මේ කෙස්, අනිත්‍යය. දුඃඛය, අනාත්මය’යි සම්මර්ශන කිරීමේදී උපන් ඵස්ස පංචමක ධර්මයෝද, ‘‘මේ ලොම් -පෙ- මේ හිස් මොළ අනිත්‍යය, දුඃඛය, අනාත්මය’ යි සම්මර්ශනය කිරීමේදී උපන් ඵස්ස පංචමක ධර්මයෝදැ’යි යන මේ සියල්ල එකක් අනෙකකට නොපැමිණ පුරුක් පුරුක් බවට, අනෙක් අනෙක් කැබලි බවට පත්ව, රත් කළ කබලෙක ලූ තල මෙන් ‘තට, තට’ යන අනුකරණයෙන් නටුයේය; එහෙයින් අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි යනුවෙනි. මේ පළමුකොට විසුද්ධි කථා නයයි.
අරියවංස කථා නයෙහි වනාහි, යට රූප සප්තකයෙහි, සත් තැනෙක්හි (වෙන වෙනම) “රූපය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි පැවැති චිත්තය, අනෙක් චිත්තයෙකින් (එකට ගෙන) අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කරනුයේ කලාප වශයෙන් සම්මර්ශනය කරයි” යනුවෙන් කියන ලද්දේය; එය වඩා යෝග්‍ය වේ. එහෙයින් සෙසු ‘යමකතො’ යන ආදියද එනයින්ම විග්‍රහ කරන්නමු.
‘යමකතො’ යනු මෙහිදී භික්‍ෂු තෙමේ (යට කී) ආදාන-නික්ඛේපන රූපය “අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශන කොට, එම සිතද අනෙක් සිතෙකින් ‘අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කරයි. වයෝවුද්ධත්‍ථගම (වයස වැඩී යාමෙන් ඉකුත්ව යන රූපය) -පෙ ආහාරමය -පෙ-, සෘතුමය -පෙ- කර්මජ -පෙ- චිත්ත සමුට්ඨාන ධම්මතා රූපය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කොට, එම චිත්තයද, අනෙක් චිත්තයෙකින් ‘අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කරයි; මෙසේ, (රූප හා අරූප) යුගල වශයෙන් ගෙන සම්මර්ශනය කිරීම නම් වේ.
‘ඛණිකතො’ යනු, මෙහිදී භික්‍ෂු තෙමේ, ආදානනික්ඛේප රූපය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කොට ඉක්බිති එම ප්‍රථම චිත්තය දෙවන චිත්තයෙකින්ද, දෙවැන්න තෙවැන්නෙකින්ද, තෙවැන්න සිවුවැන්නෙකින්ද, සිවුවැන්න පස්වැන්නෙකින්දැ’යි මෙසේ, “මෙයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කරයි. වයෝවුද්ධත්‍ථගම රූපයද, ආහාරමය-සෘතුමය-කර්මජ-චිත්ත සමුට්ඨාන, රූපයන්ද, ධම්මතා රූපයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කොට, එම ප්‍රථම චිත්තය දෙවන චිත්තයෙකින්ද, දෙවන චිත්තය තෙවන චිත්තයෙකින්ද, තෙවන චිත්තය සිවුවැනි චිත්තයෙකින්ද, සිවුවන චිත්තය පස්වැන්නෙකින්දැ’ යි මෙසේ, “මෙයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’ය සම්මර්ශනය කරයි; මෙසේ රූප-පරිග්‍රාහක චිත්තයෙහි පටන් සතරක් සතරක් බැගින් සම්මර්ශනය කරනුයේ ක්‍ෂණික වශයෙන් සම්මර්ශනය කෙරේ නම් වේ.
‘පටිපාටිතො’ යනු, ආදාන-නික්ඛේප රූපය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කොට, එම ප්‍රථම චිත්තය, දෙවන චිත්තයෙකින්ද, දෙවැන්න තෙවැන්නෙකින්ද, තෙවැන්න සිවුවැන්නෙකින්ද, -පෙ- දසවැන්න එකොළොස් වැන්නෙකින්දැ’යි මෙසේ “මෙයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කරයි. වයෝවුද්ත්‍ථගම රූපයද, ධම්මතාරූපයද, අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කොට, ඉක්බිති එම ප්‍රථම චිත්තය දෙවන චිත්තයෙකින්ද, දෙවන චිත්තය තෙවන චිත්තයෙකින්ද, තෙවැන්න -පෙ- දසවැන්න එකොළොස් වැන්නෙකින්දැ’යි මෙසේ මෙයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි විදර්ශනා පිළිවෙළින් මුළු දහවලම සම්මර්ශනය කරනු වටී, දසවන චිත්තය තෙක් සම්මර්ශනය කිරීමෙන් රූප-කර්මස්ථානයද, අරූප-කර්මස්ථානයද ප්‍රගුණ වේ; එහෙයින් දසවැන්නෙහිදීම නැවැත්විය යුතුයයි කියන ලදි. මෙසේ සම්මර්ශනය කරනුයේ පටිපාටි (පිළිවෙළ) වශයෙන් සම්මර්ශනය කෙරේ නම් වේ.
‘දිට්ඨි උග්ඝාටනතො’, ‘මාන උග්ඝාටනතො’, ‘නිකන්ති පරියාදානතො’ යන මේ තුනෙහි වෙන් වෙන් වශයෙන් සම්මර්ශන ක්‍රමයක් නැත; යට පරිග්‍රහණය කරන ලද යම් මේ රූපයක් ඇත්ද එය හා මෙහි (දැන්) පරිග්‍රහණය කරනු ලබන අරූපයද දකිනුයේ එම රූප-අරූප දෙක හැර අන් කිසි සත්‍ව කෙනකු නොදකී; සත්‍වයකු නොදක්නා තැන් සත්‍ව සංඥාව උගුළුවා හරින ලද්දේ වේ. සත්‍ව සංඥාව උගුළුවා හළ සිතින් සංස්කාරයන් පරිග්‍රහ කරන්නහුට (සාවද්‍ය දෘෂ්ටිය නො-උපදියි; දෘෂ්ටිය නූපදනා කල දෘෂ්ටිය උගුළුවා හරින ලද්දේ වේ; දෘෂ්ටිය උගුළුවා හළ සිතින් සංස්කාරයන් පරිග්‍රහණය කරන්නහුට මානය නො-උපදියි. මානය නො-උපදනා කල මානය උගුළුවා හරින ලද්දේ නම් වේ; මානය උගුළුවා හළ සිතින් සංස්කාරයන් පරිග්‍රහණය කරන්නහුට තෘෂ්ණාව නො-උපදියි. තෘෂ්ණාව නො-උපදනා කල නිකන්තිය (එනම් සියුම් තෘෂ්ණාව) ක්‍ෂය කරන ලද්දේ වේ. මෙසේ විසුද්ධි කථායෙහි කියන ලදි.