රූපසත්තකසම්මසනකථා
තවත් යෝගියෙක් තෙමේ රූපසප්තක - අරූප සප්තක වශයෙන් ත්‍රිලක්‍ෂණයට ආරෝපණය කෙරෙමින් සංඛාරයන් සම්මර්ශනය කරයි. එහි, ආදාන-නික්ඛේපන වශයෙන්ද, වයෝවුද්ධත්‍ථඞ්ගම වශයෙන්ද, ආහාරමය වශයෙන්ද, සෘතුමය වශයෙන්ද, කම්මජ වශයෙන්ද, චිත්තජ වශයෙන්ද, ධම්මතාරූප වශයෙන්දැ’යි යන මේ සත් ආකාරයෙන් ත්‍රිලක්‍ෂණයට නඟා සම්මර්ශනය කරනුයේ රූප-සප්තක වශයෙන් ආරෝපණය කොට සම්මර්ශනය කරනුයේ නම් වේ. එහෙයින් කීහු පූරාණාචාර්යයෝ:-
ආදාන නික්‍ඛෙපනතො වයොවුද්ධත්‍ථ ගාමිතො,
ආහාරතො ච උතුතො කම්මතො චාපි චිත්තතො,
ධම්මතාරූපතො සත්ත විත්‍ථාරෙන විපස්සතී’ති
ආදාන නික්ඛේපන වශයෙන්ද ...පෙ... ධම්මතාරූප වශයෙන්දැ’යි යන සත් වැදෑරුම් විදර්ශනා පුරනුයේ නම් වේ.
එහි, ‘ආදාන’ යනු, ප්‍රතිසන්‍ධියයි; ‘නික්ඛේපන’ යන චුතියයි; මෙසේ යෝගාවචර තෙමේ ආදාන- නික්ඛේපන අනුසාරයෙන් එක් සියවසක් පිරිසිඳ සංඛාරයන් කෙරෙහි ත්‍රිලක්‍ෂණය ආරෝපණය කරයි; කෙසේද යත්:- මේ ආදාන (ප්‍රතිසන්‍ධිය) හා නික්ඛේපන (ච්‍යුතිය) යන දෙක අතර ඇති සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙති; කවර හෙයින්ද යත්:- ඉපිද නැසී යන හෙයින්, විපරිණාම වශයෙන් පෙරළෙන සුලු හෙයින්, තාවකාලික වන හෙයින් හා නිත්‍ය ස්වභාවයට ප්‍රතිපක්‍ෂ වන හෙයිනි. යම් හෙයකින් වනාහි උපන් සංස්කාරයෝ ස්ථිති භාවයට පත් වෙත්ද, ස්ථිතිභාවයට පත්ව, ජරාවෙන් පෙළෙත්ද, ජරාවට පත්ව නියත වශයෙන්ම බිඳී යත්ද, මෙසේ නිරතුරු පෙළීම් ඇති හෙයින්, දුකසේ ඉවසිය යුතු හෙයින්, දුකට ප්‍රතිෂ්ඨා වන හෙයින් හා සැපතට ප්‍රතිපක්‍ෂ වන හෙයින් දුඃඛ නම් වෙති. තවද යම් හෙයකින්, “උපන් සංස්කාරයෝ ස්ථිතියට පැමිණෙත්වා, ස්ථිතියට පත්ව නොදිරත්වා, දිරායාමට පත්වීමෙන් බිඳී නොයත්වා’යි යන මේ කරුණු තුන පිළිබඳව කිසිවකුටත් වශවර්තිභාවයක් (තමා රිසි පරිදි පැවැත්විය හැකි බවක්) නොමැත්තේය; එහෙයින් කිසිවකුගේ වශයෙහි නොපැවැත්විය හැකි ආකාර වන හෙයින් ශුන්‍ය (හිස්) වෙති. මෙසේ ශුන්‍ය වන හෙයින්, අස්වාමික වන හෙයින්, කිසිවකුගේ වශයෙහි නොපවත්නා හෙයින් හා ආත්ම ප්‍රතිපක්‍ෂ වන හෙයින් අනාත්ම වෙති.
මෙසේ ආදාන-නික්ඛේපන වශයෙන් සියවස් පිරිසුන් රූප විෂයයෙහි ත්‍රිලක්‍ෂණය ආරෝපණය කොට, ඉක්බිති වයෝවුද්ධත්‍ථගම වශයෙන් ආරෝපණය කරයි; එහි ‘වයෝවුද්ධත්‍ථගම’ යනු, වයසින් මුහුකළ, වැසීගිය රූපය ඉකුත්ව යාමයි. එයට අනුව ත්‍රිලක්‍ෂණය ආරෝපණය කෙරෙති’යි යන අර්ත්‍ථයි.
කෙසේද යත්:- ඒ යෝගාවචර තෙමේ එම සියවස් කාලය ප්‍රථම වයස, මධ්‍යම වයස, පශ්චිම වයස යන වයස් සීමා තුනක් වශයෙන් පිරිසිඳ ගනියි, එහි මුල පටන් තෙතිස් වසක් ප්‍රථම වයස නමි, එතැන් පටන් තවද සූතිස් වසක් මධ්‍යම වයස නමි, එතැන් පටන් තවද තෙතිස් වසක් පශ්චිම වයස නමි; මෙසේ මේ තුන් වයසින් පිරිසිඳිමින්, ප්‍රථම වයස්හි පැවති රූපය මධ්‍යම වයසට නොපැමිණ එහිදීම නිරුද්ධ වෙයි; එහෙයින් එය අනිත්‍යය, යමක් අනිත්‍ය නම්, එය දුඃඛය, යමක් දුඃඛ නම්, එය අනාත්මය; මධ්‍යම වයස්හි පැවති රූපයද පශ්චිම වයසට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ; එහෙයින් එයද අනිත්‍යය, දුඃඛය. අනාත්මය, පශ්චිම වයස්හි තෙතිස් වසක් පැවති රූපයද මරණයෙන් පසු යාමට නොසමත් වන හෙයින් එයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි ත්‍රිලක්‍ෂණයට නගයි.
මෙසේ ප්‍රථමවයස් ආදී වශයෙන් වයසින් වැඩී ඉකුත් වීම ත්‍රිලක්‍ෂණයට නගා, යළිදු මන්දදසකය, ඛිඩ්ඩා දසකය, වණ්ණ දසකය, බලදසකය, පඤ්ඤා දසකය, හානි දසකය, පබ්භාර දසකය, පවඞ්ක දසකය, මෝමුහ දසකය, සයන දසකය යන මේ දශදශකය අනුව වයසින් වැඩී ඉකුත්වීම් වශයෙන් ත්‍රිලක්‍ෂණයට නගයි.
එම දශකයන් අතුරෙන්, පළමු කොට සියක් අවුරුදු ජීවත්වන පුද්ගලයකුගේ ප්‍රථම දශවර්ෂය මන්‍දදසක නමි, එම වයස් කාලයෙහි හේ තෙමේ ළද බොළඳ දරුවෙකි; අනතුරු දස අවුරුදු කාලය ඛිඩ්ඩාදසක නමි, එකල හෙතෙම කෙළිලොල් බව බහුලව ඇත්තෙකි; ඉක්බිති දස අවුරුදු කාලය වණ්ණ දසක නමි, එකල ඔහුගේ ශරීර වර්ණය වර්ධනයට පත් වේ; අනතුරු දස අවුරුදු කාලය බලදසක නමි, එකල ඔහුගේ කාය බලය, ශරීර ශක්තිය දැඩි බවට පත්වේ, ඉක්බිති දස හවුරුදු කාලය පඤ්ඤාදසක නමි, එකල ඔහුගේ ප්‍රඥාව මනාසේ මුහුකුරා ගොස් තිර බවට පත්වේ; ප්‍රකෘතියෙන් මන්‍ද බුද්ධිකයකුගේ වුවද, මේ කාලය තුළ මඳ වූ හෝ නැණවත් බවක් උපදනේමය; අනතුරුව එළඹෙන දස හවුරුදු කාලය හානි දසක නමි, එම කාලය තුළ ඔහුගේ කෙළිලොල් බව, ශරීර වර්ණය, බලය හා ප්‍රඥාව පිරිහී යයි; ඉක්බිති එළඹෙන දස අවුරුදු කාලය පබ්භාර දසක නමි, එකල්හි වනාහි ඔහුගේ සිරුර ඉදිරියට නැමෙයි, ඉක්බිති දස අවුරුදු කාලය පවඞ්ක දසක නමි, එකල්හි ඔහුගේ සිරුර නඟුල් කෙළවරක් සෙයින් වකුටු වෙයි. ඉක්බිති දශකය මෝමූහ දසක නමි, එකල්හි හේතෙමේ සිහිවිකල බවට පත්වේ, කළ කළ දෙය මතකින් ගිලිහී යයි; අවසන් දශකය සයන දසක නමි, සියවස් වයස් වූයේ වනාහි නිද්‍රා බහුල (නිතර නිදන සුලු) පුද්ගලයෙක්ම වේ.
එහිදී මේ යෝගාවචර තෙමේ මෙකී දශකයන් වශයෙන් වයෝවුද්ධත්‍ථ ගමනයෙන් ත්‍රිලක්‍ෂණයට නගනු පිණිස මෙසේ මෙනෙහි කරයි:- ප්‍රථම දශකයෙහි පැවති රූපය දෙවන දශකයට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ, එහෙයින් එය අනිත්‍යය, දුඃඛය, අනාත්මය; දෙවන දශකයෙහි පැවැති රූපය -පෙ- නවවන දශකයෙහි පැවති රූපය දසවන දශකයට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ, දසවන දශකයෙහි පැවැති රූපය පුනර්භවයට නොපැමිණ මෙහිදීම නිරුද්ධ වේ. එහෙයින් එයද අනිත්‍යය, දුඃඛය, අනාත්මයයි ත්‍රිලක්‍ෂණයට නඟයි.
මෙසේ දශක වශයෙන් වයෝවුද්ධත්‍ථ ගමනයට අනුව ත්‍රිලක්‍ෂණයට නගා ඉක්බිති යලිදු එම සියවසම පසක් පසක් බැගින් විසි කොටසක් කොට වයෝවුද්ධත්‍ථ ගමනයට අනුව ත්‍රිලක්‍ෂණයට නගයි. කෙසේද යත් - හේ තෙමේ මෙසේ මෙනෙහි කරයි:- පළමු පස්වස තුළදී පැවති රූපය දෙවන පස්වසට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ, එහෙයින් එය අනිත්‍යය, දුඃඛය, අනාත්මය; දෙවන පස්වස තුළ පැවති රූපය -පෙ- එකුන්විසිවන පස්වස තුළ පැවැති රූපය විසිවන පස්වසට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ; විසිවන පස්වස තුළ පැවැති රූපය මරණින් මතු යාමට සමත් නොවේ. එහෙයින් එයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි යනුවෙනි.