අරූපනිබ්බත්තිපස්සනාකාරකථා
රූපස්කන්‍ධය සම්මර්ශනය කරන්නහු විසින් රූපයෙහි උපත මෙන්ම, අරූප ස්කන්‍ධයන් සම්මර්ශනය කරන්නහු විසින්ද අරූප ස්කන්‍ධයෙහි උපත දැකිය යුතුය. එයද එක් අසූවක් ලෞකික චිත්තෝත්පාද වශයෙන්ම වේ.
කෙසේ ද යත්:- මේ අරූපය නම්: පූර්වභවයෙහි රැස්කළ කර්ම වශයෙන් පළමුකොට ප්‍රතිසන්‍ධියෙහිදී එකුන් විස්සක් වූ චිත්තෝත්පාද භේදය උපදියි; මෙය උපදින ආකාරය වනාහි පටිච්ච සමුප්පාද නිද්දේසයෙහි කී නයින්ම දතයුතුය. එම (එකුන්විසි චිත්තෝත්පාදය) ප්‍රතිසන්‍ධි චිත්තයට අනතුරු චිත්තයෙහි පටන් භවාංග වශයෙන්ද, ආයුෂ කෙළවර චුති වශයෙන්ද හටගනී, එහි කාමාවචර වූ යමක් ඇත්ද, එය ෂඩ්ද්වාරයෙහි බලවත් අරමුණු ඇතිව තදාරම්මණ වශයෙන් පවතියි;
එවිට චක්‍ඛුප්පසාදය නොකඩවූ හෙයින්ද, රූපයන් චක්‍ඛු පථයට එළඹි හෙයින්ද, ආලෝකය හා සමග යෙදුණ, මනස්කාරයට හේතුවන, චක්‍ඛු විඤ්ඤාණය සම්ප්‍රයුක්ත ධර්මයන් හා සමග උපදියි; චක්‍ඛුප්පසාදය ස්ථිති ක්‍ෂණයෙහි වූ කල, ස්ථිතියට පත්වූම රූපය චක්‍ඛුප්පසාදයෙහි ගැටෙයි; එසේ ගැටුණු කල භවාංගය දෙවරක් ඉපිද නිරුද්ධ වේ; ඉක්බිති එම අරමුණෙහිම, ආවර්ජන කෘත්‍යය ඉටු කරමින් කිරිය මනෝ ධාතුව උපදියි; අනතුරුව එම රූපයම දකිමින් කුශල හෝ අකුශල විපාක වූ චක්‍ඛු විඤ්ඤාණයද, අනතුරුව එම රූපයම පිළිගනිමින් (සම්පටිච්ඡන කෘත්‍යය කරමින්) විපාක මනෝධාතුවද, ඉනික්බිතිව රූපයම මනාසේ තීරණය (සන්තීරණ කෘත්‍යය) කරමින් විපාක-අහේතුක-මනෝවිඤ්ඤාණ ධාතුවද, එයට අනතුරුව එම රූපයම ව්‍යවස්ථාපනය (ව්‍යවස්ථාපන කෘත්‍යය) කරමින් උපේක්‍ෂා සහගත කිරිය-අහේතුක-මනෝ විඤ්ඤාණ ධාතුවද, තදනන්තරව කාමාවචර, කුශල හෝ අකුශල, කිරිය චිත්තයන් අතුරෙන් එක් උපේක්‍ෂාසහගත අහේතුක සිතක්, නැතහොත්, ජවන්සිත් පසක් හෝ සතක්ද, ඉනික්බිතිව, කාමාවචර සත්‍වයනට, තදාරම්මණ සිත් එකොළොස අතුරෙන් ජවන් අරමුණට අනුරූප වූ කිසියම් තදාරම්මණයක්ද උපදියි. සෙසු ද්වාරයන් විෂයයෙහිද මෙම නයයි; මනෝද්වාරයෙහි වනාහි මහද්ගත චිත්තයෝද උපදිති. මේ ආකාරයෙන් ෂඩ්ද්වාරයෙහි අරූප ස්කන්‍ධයන්ගේ උපත දැකිය යුතුය. මෙසේ අරූප ස්කන්‍ධයන්ගේ උපත දක්නේ සුදුසු කල්හි අරූපයන් සම්මර්ශනය කරන්නේ නම් වේ.
මෙසේ කලෙක රූපයද, කලෙක අරූපයද සම්මර්ශන කෙරෙමින්, ත්‍රිලක්‍ෂණයට ආරෝපණය කෙරෙමින්, අනුක්‍රමයෙන් පිළිපදිමින්, කිසියම් යෝගියෙක් පඤ්ඤා භාවනාව සම්පාදනය කරයි.
රූපසත්තකසම්මසනකථා
තවත් යෝගියෙක් තෙමේ රූපසප්තක - අරූප සප්තක වශයෙන් ත්‍රිලක්‍ෂණයට ආරෝපණය කෙරෙමින් සංඛාරයන් සම්මර්ශනය කරයි. එහි, ආදාන-නික්ඛේපන වශයෙන්ද, වයෝවුද්ධත්‍ථඞ්ගම වශයෙන්ද, ආහාරමය වශයෙන්ද, සෘතුමය වශයෙන්ද, කම්මජ වශයෙන්ද, චිත්තජ වශයෙන්ද, ධම්මතාරූප වශයෙන්දැ’යි යන මේ සත් ආකාරයෙන් ත්‍රිලක්‍ෂණයට නඟා සම්මර්ශනය කරනුයේ රූප-සප්තක වශයෙන් ආරෝපණය කොට සම්මර්ශනය කරනුයේ නම් වේ. එහෙයින් කීහු පූරාණාචාර්යයෝ:-
ආදාන නික්‍ඛෙපනතො වයොවුද්ධත්‍ථ ගාමිතො,
ආහාරතො ච උතුතො කම්මතො චාපි චිත්තතො,
ධම්මතාරූපතො සත්ත විත්‍ථාරෙන විපස්සතී’ති
ආදාන නික්ඛේපන වශයෙන්ද ...පෙ... ධම්මතාරූප වශයෙන්දැ’යි යන සත් වැදෑරුම් විදර්ශනා පුරනුයේ නම් වේ.
එහි, ‘ආදාන’ යනු, ප්‍රතිසන්‍ධියයි; ‘නික්ඛේපන’ යන චුතියයි; මෙසේ යෝගාවචර තෙමේ ආදාන- නික්ඛේපන අනුසාරයෙන් එක් සියවසක් පිරිසිඳ සංඛාරයන් කෙරෙහි ත්‍රිලක්‍ෂණය ආරෝපණය කරයි; කෙසේද යත්:- මේ ආදාන (ප්‍රතිසන්‍ධිය) හා නික්ඛේපන (ච්‍යුතිය) යන දෙක අතර ඇති සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙති; කවර හෙයින්ද යත්:- ඉපිද නැසී යන හෙයින්, විපරිණාම වශයෙන් පෙරළෙන සුලු හෙයින්, තාවකාලික වන හෙයින් හා නිත්‍ය ස්වභාවයට ප්‍රතිපක්‍ෂ වන හෙයිනි. යම් හෙයකින් වනාහි උපන් සංස්කාරයෝ ස්ථිති භාවයට පත් වෙත්ද, ස්ථිතිභාවයට පත්ව, ජරාවෙන් පෙළෙත්ද, ජරාවට පත්ව නියත වශයෙන්ම බිඳී යත්ද, මෙසේ නිරතුරු පෙළීම් ඇති හෙයින්, දුකසේ ඉවසිය යුතු හෙයින්, දුකට ප්‍රතිෂ්ඨා වන හෙයින් හා සැපතට ප්‍රතිපක්‍ෂ වන හෙයින් දුඃඛ නම් වෙති. තවද යම් හෙයකින්, “උපන් සංස්කාරයෝ ස්ථිතියට පැමිණෙත්වා, ස්ථිතියට පත්ව නොදිරත්වා, දිරායාමට පත්වීමෙන් බිඳී නොයත්වා’යි යන මේ කරුණු තුන පිළිබඳව කිසිවකුටත් වශවර්තිභාවයක් (තමා රිසි පරිදි පැවැත්විය හැකි බවක්) නොමැත්තේය; එහෙයින් කිසිවකුගේ වශයෙහි නොපැවැත්විය හැකි ආකාර වන හෙයින් ශුන්‍ය (හිස්) වෙති. මෙසේ ශුන්‍ය වන හෙයින්, අස්වාමික වන හෙයින්, කිසිවකුගේ වශයෙහි නොපවත්නා හෙයින් හා ආත්ම ප්‍රතිපක්‍ෂ වන හෙයින් අනාත්ම වෙති.
මෙසේ ආදාන-නික්ඛේපන වශයෙන් සියවස් පිරිසුන් රූප විෂයයෙහි ත්‍රිලක්‍ෂණය ආරෝපණය කොට, ඉක්බිති වයෝවුද්ධත්‍ථගම වශයෙන් ආරෝපණය කරයි; එහි ‘වයෝවුද්ධත්‍ථගම’ යනු, වයසින් මුහුකළ, වැසීගිය රූපය ඉකුත්ව යාමයි. එයට අනුව ත්‍රිලක්‍ෂණය ආරෝපණය කෙරෙති’යි යන අර්ත්‍ථයි.
කෙසේද යත්:- ඒ යෝගාවචර තෙමේ එම සියවස් කාලය ප්‍රථම වයස, මධ්‍යම වයස, පශ්චිම වයස යන වයස් සීමා තුනක් වශයෙන් පිරිසිඳ ගනියි, එහි මුල පටන් තෙතිස් වසක් ප්‍රථම වයස නමි, එතැන් පටන් තවද සූතිස් වසක් මධ්‍යම වයස නමි, එතැන් පටන් තවද තෙතිස් වසක් පශ්චිම වයස නමි; මෙසේ මේ තුන් වයසින් පිරිසිඳිමින්, ප්‍රථම වයස්හි පැවති රූපය මධ්‍යම වයසට නොපැමිණ එහිදීම නිරුද්ධ වෙයි; එහෙයින් එය අනිත්‍යය, යමක් අනිත්‍ය නම්, එය දුඃඛය, යමක් දුඃඛ නම්, එය අනාත්මය; මධ්‍යම වයස්හි පැවති රූපයද පශ්චිම වයසට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ; එහෙයින් එයද අනිත්‍යය, දුඃඛය. අනාත්මය, පශ්චිම වයස්හි තෙතිස් වසක් පැවති රූපයද මරණයෙන් පසු යාමට නොසමත් වන හෙයින් එයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි ත්‍රිලක්‍ෂණයට නගයි.