රූපනිබ්බත්තිපස්සනාකාරකථා
ඒ මෙසේයි:- ‘මේ රූපස්කන්ධය වනාහි කර්ම ආදී කරුණු සතරෙකින් උපදියි, සියලු සත්වයන්ගේ රූපය උපදින විට, පළමුකොට කර්මයෙන් උපදියි, ප්රතිසන්ධි ක්ෂණයෙහිදීම, පළමු කොට ගර්භශායී සත්වයනට, වත්ථු, කාය, භාව යන දශක සංඛ්යාත වූ සන්තති තුනක් වශයෙන්, රූප තිසක් උපදියි; ඒ රූප තිස ප්රතිසන්ධි චිත්තය උපදින කෙණෙහිම උපදියි; උත්පාදක්ෂණයෙහි යම්සේද, ස්ථිති ක්ෂණයෙහි හා භංගක්ෂණයෙහිද එසේය.
එහිදී රූපයෙහි නැවැත්ම ලැසිව සිදුවේ; පරිණාමය මන්දගාමී වේ; චිත්තයෙහි නැවැත්ම වහා සිදු වේ, පරිණාමය යුහුව සිදු වේ. එහෙයින් වදාළහ:- “මහණෙනි, මේ චිත්තය තරම් යුහුව පෙරළෙන අන් කිසිදු ස්වභාවයක් මම නොදක්නෙමි” යනුයි. රූපය තිබියදීම භවාංග චිත්තය සොළොස් වරක් ඉපිද නිරුද්ධ වේ. චිත්තයෙහි උත්පාද ක්ෂණයද ස්ථිති ක්ෂණයද, භංගක්ෂණයද එකසමාන (සමප්රමාණ) වේ; රූපයෙහි වනාහි උත්පාද ක්ෂණය හා භංගක්ෂණය යුහු වේ, ඒ දෙක පමණක් සමප්රමාණ වේ; ස්ථිති ක්ෂණය වනාහි වැඩිතරම් වේ, සිත් සොළොසක් ඉපිද නිරුද්ධ වන තෙක් පවතියි. ප්රතිසන්ධි චිත්තය උපන් කෙණෙහිම ඉපිද තැන්පත් වූ, එහෙයින් පුරේජාත (පළමුව උපන්) යයි කිවයුතු හෘදය වස්තුව නිසා දෙවන භවාංග චිත්තය උපදියි, ඒ දෙවන භවාංග චිත්තය හා සමග ඉපිද තැන්පත් වූ, පුරේජාත වූ හෘදය වස්තුව නිසා තුන්වන භවාංග චිත්තය උපදියි; මේ නයින් චිත්ත ප්රවෘත්තිය (සිතෙහි පැවැත්ම) ආයුෂ ඇති තෙක් වෙතැ’යි දතයුතුය. මරණාසන්න වූවහුට වනාහි තැන්පත් වූ එකම හෘදය වස්තුව නිසා සිත් සොළොසක් උපදියි.
ප්රතිසන්ධි චිත්තය උපන් කෙණෙහිම උපන් රූපය ප්රතිසන්ධි චිත්තයෙන් මතු සොළොස්වන චිත්තය හා සමග නිරුද්ධ වේ. ස්ථිති ක්ෂණයෙහි උපන් රූපය සතළොස්වන චිත්තයෙහි ඉපැදීම හා සමග නිරුද්ධ වේ. භංගක්ෂණයෙහි උපන් චිත්තය සතළොස්වන චිත්තයෙහි ස්ථිතික්ෂණයට පැමිණ නිරුද්ධ වේ, යම්තාක් පැවැත්ම වේද, ඒතාක් මෙසේම පවතියි. ඕපපාතික සත්වයනටද මේ ආකාරයෙන්ම සන්තති සතක් (චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, භාව, වත්ථු දශක) වශයෙන් රූප සැත්තෑවක් පවතී.
එහිලා කර්මය, කර්ම සමූත්ථානය, කර්ම ප්රත්යය, කර්මප්රත්යය-චිත්ත සමුත්ථානය, කර්ම ප්රත්යය ආහාර සමුත්ථානය කර්ම ප්රත්යය ඍතු සමුත්ථානය යන මේ විභාගය දතයුතුය. එහි කර්ම නම්, කුශලාකුශල චේතනායි. කර්ම සමුත්ථාන නම්, විපාක වූ වේදනාදී ස්කන්ධ හා චක්ඛු-දශකාදී වූ සමසැත්තෑ රූපයි, කර්ම ප්රත්යය නම්, එම විපාක ස්කන්ධ හා සමසැත්තෑ රූපමයි. කර්මය වනාහි කර්මසමුත්ථානයට උපස්ථම්භක ප්රත්යයද වේ. කර්මප්රත්යය-චිත්තසමුත්ථාන නම් විපාක චිත්තයෙන් හටගත් රූපයයි, කර්මප්රත්යය-ආහාර සමූත්ථාන නම්, කර්ම-සමූත්ථාන රූපයන්හි තැන්පත් ඕජාව තවත් ඕජාෂ්ටමකයක් උපදවයි, එහිද තැන්පත් වූ ඕජාව අනෙකක් (ඕජාෂ්ටමක) දැ’යි මේ ආකාරයෙන් සතරක් හෝ පහක් රූප කලාප උපදවයි; කර්මප්රත්යය-ඍතුසමූත්ථාන නම්, කර්මජ තේජෝධාතුව තැන්පත්ව උෂ්ණත්වයෙන් හටගන්නා ඕජාෂ්ටමකයක් උපදවයි, එහිද උෂ්ණත්වය තවත් ඕජාෂ්ටමකයක් උපදවයි, මේ ආකාරයෙන් සතරක් හෝ පහක් (රූප) පැවැතුම් උපදවයි. මෙසේ පළමුකොට කර්මජ රූපයෙහි උපත දැකියයුතුය.
චිත්තජ රූපයන් අතුරෙහිදු චිත්තය, චිත්ත සමූත්ථානය, චිත්ත ප්රත්යයය, චිත්ත ප්රත්යය-ආහාර සමුත්ථානය, චිත්තප්රත්යය-ඍතු සමුත්ථානය යන මේ විභාගය දතයුතුය. එහි චිත්ත යනු, නවාසූවක් වූ චිත්තයෝයි, ඔවුනතුරෙන්,
ද්වත්තිංස චිත්තානි ඡබ්බීස ඌනවීසති සොළස,
රූපිරියාපථ විඤ්ඤත්ති ජනකාජනකා මතා.
රූපිරියාපථ විඤ්ඤත්ති ජනකාජනකා මතා.
චිත්තයන් දෙතිසක්ද, සවිස්සක්ද, එකුන් විස්සක්ද (පිළිවෙළින්) රූප, ඉරියාපථ, විඤ්ඤත්ති යන තුනමද, රූප, ඉරියාපථ යන දෙකද, හුදෙක් රූප මාත්රයමද උපදවයි; (චිත්තයන්) සොළොසක් මේ කිසිවක් නො-උපදවයි.
කාමාවචර සිත් වශයෙන්, කුසල් සිත් අට හා අකුසල් සිත් දොළොසද, මනෝධාතු හැර කිරිය සිත් දහයද, කුසල් කිරිය සිත් වශයෙන්, අභිඤ්ඤා සිත් දෙකක්දැයි යන මේ සිත් දෙතිස රූප, ඉරියාපථ, විඤ්ඤත්ති යන තුනම උපදවයි. විපාක සිත් හැර සෙසු රූපාවචර සිත් දසයද, අරූපාවචර සිත් අටද, ලෝකෝත්තර සිත් අටදැයි යන මේ සිත් සවිස්ස රූපය හා ඉරියවු යන දෙක උපදවයි, විඤ්ඤත්තිය නො-උපදවයි; කාමාවචර භවංග සිත් දසයද, රූපාවචර (විපාක) සිත් පසද, මනෝධාතු තුනද විපාක - අහේතුක මනෝ විඤ්ඤාණධාතු එකදැයි යන මේ සෝමනස්ස සහගත සිත් එකුන්විස්ස හුදෙක් රූපමාත්රයම උපදවයි; ඉරියාපථ හෝ විඤ්ඤත්ති නො-උපදවයි. පංච විඤ්ඤාණ දෙකද, සියලු සත්වයන්ගේ ප්රතිසන්ධි චිත්තයද, රහතුන්ගේ චුතිචිත්තයද, අරූප විපාක සිත් සතරදැ’යි යන මේ සිත් සොළොස රූප හෝ ඉරියාපථ හෝ විඤ්ඤත්ති හෝ (කිසිවක්) නො-උපදවයි. මෙහි යම් චිත්තයක් රූප උපදවාද එය ස්ථිති - ක්ෂණයෙහි හෝ භංග ක්ෂණයෙහි නො-උපදවයි, එම ක්ෂණයන්හිදී සිත දුර්වල වේ; උත්පාද ක්ෂණයෙහි වනාහි සිත බලවත් වේ, එහෙයින් එම ක්ෂණයෙහිදී, පුරේජාත වූ (පළමුව උපන්) හෘදය වස්තුව නිසා රූපය උපදවයි.