උපමාහි නාමරූපවිභාවනා
මෙසේ නොයෙක් සියගණන් සූත්‍රාන්තයන් මගින් නාමරූපයම දක්වන ලදි. එහෙයින් යම්සේ අක්‍ෂ (රිය අකුරු), චක්‍ර, පඤ්ජර (මැදිරි), රථශීර්ෂ (රියහිස්) ආදී අවයව රාශිය කිසියම් ආකාරයෙකින් සවිකොට තැබූ කල ‘රථ’ය යන ව්‍යවහාර මාත්‍රය වේද, එක් එක් අවයවය වෙන වෙනම ගෙන පිරික්සන විට පරමාර්ත්‍ථ වශයෙන් ‘රථය’ නම් වූ කිසිවක් නොමැත්තේද, තවද දැවදඬු ආදී ගොඩනැගිලි ද්‍රව්‍ය කිසියම් ආකාරයෙකින් අහස ආවරණය කොට පිහිටුවන ලද කල ‘ගෙය’ය යන ව්‍යවහාර මාත්‍රය වේද, පරමාර්ත්‍ථ වශයෙන් ‘ගෙය’ නම් වූ කිසිවක් නොමැත්තේද, තවද, ඇඟිලි මහපටැඟිලි ආදිය කිසියම් ආකාරයෙකින් පිහිටුවන ලද කල ‘මිට’ය යන ව්‍යවහාර මාත්‍රය වේද, -පෙ-, තවද (එක්තරා පිළිවෙළකට එක් කොට තැබූ කල) ද්‍රෝණි (බඳ), තන්ත්‍රී (තත්) ආදිය ‘වීණා’ යයිද, ඇත්, අස් ආදීහු ‘සේනා’ යයිද, ප්‍රාකාර, ගෘහ, ගෝපූර (අට්ටාල සහිත දොරටු) ආදිය ‘නගර’ යයිද, කඳ, අතු, කොළ මඬුලු ආදිය ‘රුක’ යයිද ව්‍යවහාර මාත්‍රයට යෙත්ද පරමාර්ත්‍ථ වශයෙන් එක් එක් අවයවය වෙන වෙනම ගෙන පිරික්සන කල ‘මිට’ යයි හෝ ‘වීණා’ යයි හෝ, ‘සේනා’ යයි හෝ, ‘නගර’ යයි හෝ ‘රුක’ යයි හෝ කිසිවක් නැත්තේ වේද, මෙසේ උපාදානස්කන්‍ධ පංචකය පවත්නා කල ‘සත්‍වයෙක, පුද්ගලයෙක’ යන ව්‍යවහාර මාත්‍රය පවතියි, පරමාර්ත්‍ථ වශයෙන් එක් එක් ස්කන්‍ධයක් ගෙන පිරික්සනු ලබන විට ‘වෙමි’යි හෝ ‘මම’ යයි ගැනීමට වස්තු වන සත්‍වයෙක් නම් නැත්තේය; පරමාර්ත්‍ථ වශයෙන් වනාහි හුදෙක් නාම-රූප මාත්‍රයම වෙති’යි මෙසේ දක්නහුගේ දර්ශනයම ‘යථාභූත දස්සන’ (ඇති තතු දැකීම) නම් වේ.
යමෙක් වනාහි මේ යථාභූතදස්සනය හැර පියා සත්‍වයෙක් ඇතැ’යි ගන්නේද, හේ ඒ සත්‍වයාගේ පැවැත්ම, නැතහොත්, පැවැත්ම අනුදන්නේ වේ; පැවැත්ම අනුදන්නේ ශාස්වත දෘෂ්ටියට වැටේ; නැවැත්ම අනුදන්නේ උච්ඡේද දෘෂ්ටියට වැටේ. කවර හෙයින්ද යත්; කිරීම (ක්‍රමයෙන්) විකාර බවට යාමෙන් (මිදී) සෑදෙන දී මෙන් (ආත්මය) වෙනස් බවට පත් වීමෙන් සෑදෙන අන් කිසිවක් නොමැති හෙයිනි. සත්‍වයා ශාස්වත (සදාකාලික) යයි ගන්නා හේ තෙමේ භවය තුළ අවලීන වෙයි (කිඳා බසියි, ඇලී-ගැලී සිටියි). (භවය මරණයෙන්) සිඳී යෙති’යි ගන්නේ අතිධාවනය කරන්නේ නම්වේ. එහෙයින් දෙසූහ, භාග්‍යවතුන් වහන්සේ:-
“මහණෙනි, දෘෂ්ටි ද්වයයෙකින් මඩනා ලද ඇතැම් දෙවි-මිනිස් කෙනෙක් භවයෙහි අවලීන වෙති. ඇලී ගැලී සිටිති. ඇතැම් දෙවි-මිනිස් කෙනෙක් අතිධාවනය කෙරෙති, ඇස් ඇත්තෝම (ඇති තතු නුවණින්) දකිති,
මහණෙනි, ඇතැමකු අවලීන වනුයේ කෙසේද? මහණෙනි, මේ දෙවිමිනිස්සු වනාහි භවයෙහි ඇලෙන සුලු වෙති, භවය කෙරෙහි ඇළුණාහු වෙති, භවය වෙත බැඳුණාහු වෙති, භවයෙහි සතුටු වන්නාහු වෙති, භව නිරෝධය පිණිස දහම් දෙසනු ලබන විට එයට සිත නො-ඇදයි, නොපහදියි, නොපිහිටයි, අධිමුක්තියට (නිශ්චයයට) නොපැමිණෙයි, මහණෙනි, ඇතැමෙක් මේ ආකාරයෙන් අවලීන (ඇලීගැලී සිටිති) වෙති,
මහණෙනි, ඇතැමෙකු අතිධාවනය කරනුයේ කෙසේද? මහණෙනි, ඇතැමෙක් තුමූ භව හේතුවෙන්ම පීඩාවට පත් වූවාහු, ලජ්ජාවට පත් වූවාහු, පිළිකුලට පත් වූවාහු විභවය කැමැති වෙති, යම් හෙයකින් වනාහි මේ ආත්මය කය බිඳ වැටීමෙන් කෙළවර වේද, විනාශ වේද, මරණින් මතු නොපවතීද, එහෙයින් මේ (විභවය) ශාන්තය, ප්‍රණීතය, යථා ස්වභාවය’යි යනුවෙන් මෙසේ අතිධාවනය කෙරෙති.
කෙසේ නම්, මහණෙනි, ඇස් ඇත්තෝම දකිත්ද? මහණෙනි ශාසනයෙහි භික්‍ෂු තෙමේ (යථා) භූතය (ඇති තතු) භූත වශයෙන්ම දකියි. භූතයා භූත වශයෙන් දැක, එහි කලකිරීම පිණිස, නො-ඇලීම පිණිස, අවසන් කිරීම පිණිස, පිළිපන්නේ වේ; මහණෙනි, ඇස් ඇත්තෝ මේ ආකාරයෙන් දකිති’’ යනුයි.
එහෙයින්, යම්සේ දාරු (දැව මුවා) යන්ත්‍රයක් (ආත්මයෙන්) ශූන්‍ය වූයේ, නිර්ජීව වූයේ, නිරුත්සාහික වූයේ නමුදු, දැව හා රැහැන් එක් කොට යෙදීමෙන්, යන්නේද, සිටින්නේද, උත්සාහ සහිත වූවක්, ව්‍යාපාර සහිත වූවක් සෙයින් වැටහෙන්නේ වේද, එසේ මේ නාම-රූප දෙකද ශුන්‍ය වූයේ, නිර්ජීව වූයේ, නිරුත්සාහික වූයේ නමුදු, එකිනෙක එක්ව සංයෝග වීමෙන් යන්නේද, සිටින්නේද, සොත්සාහික වූවක්, සව්‍යාපාර වූවක් සෙයින් වැටහෙති’යි දතයුතුයි. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-
නාමඤ්ච රූපඤ්ච ඉධත්‍ථි සච්චතො
නහෙත්‍ථ සත්තො මනුජො ච විජ්ජති
සුඤ්ඤං ඉදං යන්තමිවාභිසංඛතං
දුක්‍ඛස්ස පුඤ්ජො තිණකට්ඨ සාදිසො
සත්‍ය වශයෙන් ඇත්තේ නාම-රූප දෙක පමණයි. මෙහි සත්‍වයෙක් හෝ මිනිසෙක් විද්‍යාමාන නොවේ; මෙය සකස් කළ යන්ත්‍රයක් මෙන් (ආත්ම වශයෙන්) ශුන්‍යය, පිදුරු හා දැව මෙන් නිසරුය, දුක් පිඬෙකි.
මෙය හුදෙක් දාරු යන්ත්‍රෝපමා වශයෙන් පමණක් නොව බටමිටි ආදී අන් උපමා මගින්ද විස්තර කළ හැකිය. යම්සේ බට මිටි දෙකක් එකිනෙක පටලවා තැබූ විට, එකක් අනෙකට ආධාරකයක් වේද, එකක් වැටෙන විට අනෙකද වැටේද, එසේ මේ පඤ්චස්කන්‍ධ භවයෙහි නාම-රූප දෙක එකිනෙක නිසා පවතී, එකක් අනෙකට උපස්ථම්භක වේ; මරණ වශයෙන් එකක් වැටෙන කල අනෙකද වැටේ. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-
යමකං නාමරූපඤ්ච උභො අඤ්ඤොඤ්ඤ නිස්සිතා
එකස්මිං භිජ්ජමානස්මිං උභො භිජ්ජන්ති පච්චයා
නාම-රූප යමක (නිවුන්)යෙකි. දෙක එකිනෙක ඇසුරු කොට පවතී, එකක් බිඳෙන කල එකිනෙකට ප්‍රත්‍යය වූ දෙකම බිඳේ. තවද,
තවද (යම්සේ) දඬුවෙකින් පහරන ලද බෙරය නිසා ශබ්දය පවත්නා විට, බෙරය එකෙකි, ශබ්දය අනෙකෙකි; බෙරය ශබ්දය සමග අසම්මිශ්‍රය, බෙරය ශබ්දයෙන් ශුන්‍යය, ශබ්දය බෙරයෙන් ශුන්‍යය, එසේම වස්තු, ද්වාර, ආරම්මණයයි කියනු ලබන රූපය නිසා නාමය පවත්නා කල රූපය එකෙකි, නාමය අනෙකෙකි, නාමය රූපය සමග මිශ්‍ර වූයේ නොවේ; නාමය රූපයෙන් ශුන්‍යය, රූපය නාමයෙන් ශුන්‍යය; එහෙත් බෙරය නිසා ශබ්දය මෙන් රූපය නිසා නාමය පවතී. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-