18. දිට්ඨි විසුද්ධි නිද්දේසය
නාමරූපපරිග්ගහකථා
ඉක්බිති (විදර්ශනාවට) භූමිභූත මෙම ධර්මයන් පිළිබඳව උග්ගහ (වන පොත් කිරීම) හා පරිපුච්ඡා (අර්ත්‍ථ විචාරීම්) වශයෙන් දැනුම හා පුහුණුව ලැබීමෙන් ශීල විශුද්ධි, චිත්ත විශුද්ධි යන මූලික විශුද්ධි දෙක සම්පදනය කළ යුතුය’යි යමක් කියන ලද්දේද, එහි ශීල විශුද්ධි නම් වූ සුපිරිසුදුව රක්නාලද ප්‍රාතිමෝක්‍ෂ සංවරාදී චතුර්විධ ශීලයයි; එය ශීලනිර්දේශයෙහි විස්තර කරන ලද්දේමය. චිත්ත විශුද්ධි යනු උපචාර සහිත සමාපත්ති අටයි, එයද චිත්ත ශීර්ෂය යටතෙහි කියන ලද සමාධි නිර්දේශයෙහි සියලු ආකාරයෙන්ම විස්තර කරන ලද්දේමය. එහෙයින් ඒ දෙක එහි විස්තර කරන ලද නයින්ම දතයුතුය.
‘‘දිට්ඨි විසුද්ධි, කඞ්ඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි, පටිපදා ඤාණදස්සන විසුද්ධි, ඤාණදස්සන විසුද්ධි යන මේ විශුද්ධි පස ශරීරයයි”’ යනුවෙන් යමක් කියන ලද්දේද, එහි නාම-රූපයන් තත් වූ පරිද්දෙන් දැකීම දිට්ඨි විසුද්ධි නම්වේ.
එය සම්පාදනය කරනු කැමැති සමථයානික යෝගාවචරයා විසින් පළමුකොට නේවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය හැර සෙසු රූපාරූපාවචර ධ්‍යානයෙකින් නැගී විතර්කාදී ධ්‍යානාංගයන්ද, සෙසු සම්ප්‍රයුක්ත ධර්මයන්ද ලක්‍ෂණ - රසාදී වශයෙන් පිරිසිඳ ගත යුතුය. එසේ පිරිසිඳගෙන නම් සියල්ල අරමුණ වෙතට නැඹුරු වන හෙයින් නැඹුරුවීම් අර්ත්‍ථයෙන් ‘නාම’ යයි ව්‍යවස්ථාපනය කළයුතුය.
ඉක්බිති යම්සේ වනාහි පුරුෂයෙක් තෙමේ ගෙය-තුළ සර්පයකු දැක පසුපස යනුයේ සර්පයා වසන තැන දකීද, එසේම මේ යෝගාවචරයාද එම ‘නාමය’ නුවණින් පරීක්‍ෂා කරනුයේ ‘මේ නාමය කුමක් නිසා පවත්නේදැ’යි සොයනුයේ නාමය ඇසුරු කොට පවත්නා හෘදයරූපය දකියි, අනතුරුව හෘදයරූපයට නිශ්‍රය වූ මහාභූතයන්ද, මහාභූතයන් ඇසුරු කොට පවත්නා උපාදාය රූපයන්දැ’යි යනුවෙන් මෙසේ රූපය හඳුනා ගනියි. හේ තෙමේ මේ සියල්ල විනාශ වන සුලු හෙයින් ‘රූප’ යයි ව්‍යවස්ථාපනය කරයි. ඉක්බිති අරමුණු වෙත නැමෙන ලක්‍ෂණ ඇත්තේ නාමයයිද, වෙනස් වන ලක්‍ෂණ ඇත්තේ රූපයයිද සැකෙවින් නාමරූප දෙක විනිශ්චය කරයි.
ශුද්ධ විදර්ශනායානිකයා හෝ වේවා, මෙකී සමථයානිකයාම හෝ වේවා, (ඉහත) චතුධාතු වවත්‍ථානයෙහි කියන ලද ධාතූන් හඳුනාගැනීමේ ශීර්ෂයන් අතුරෙන්, එක්තරා ශීර්ෂයෙකින් සංක්‍ෂේප වශයෙන් හෝ විස්තර වශයෙන් හෝ සතර ධාතුන් හඳුනාගනියි. ඉක්බිති ඔහුට කෘත්‍ය හා ලක්‍ෂණ වශයෙන් ධාතූන් නිසි පරිදි ප්‍රකට වූ කල්හි, පළමුකොට කම්ම සමුට්ඨානික (කර්මයෙන් හටගත්) කේශ විෂයයෙහි සතර ධාතූන්ද, වණ්ණ, ගන්‍ධ, රස, ඕජා, ජීවිත, කායප්පසාදයන්දැ’යි මෙසේ කායදශක වශයෙන් රූප දශයෙකි; එම කේශ විෂයයෙහි භාවරූපයද ඇති හෙයින් භාවදශක වශයෙන් තවද රූප දශයෙකි; එහිම ආහාරසමුට්ඨාන, උතු සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන (ආහාර, ඍතු, චිත්ත යන මේ තුනෙන් හටගත්) ඕජට්ඨමක (‘ඕජා’ යන්නෙන් අවසන් වන, එනම් ජීවිත, කායප්පසාද යන දෙක හැර ඉතිරි අට) වශයෙන්දැයි තවද සූවිස්සෙකි. මෙසේ චතුසමුට්ඨානික (කම්ම, චිත්ත, උතු, ආහාර යන සතරින් හටගත්) (කේශ ආදී) සූවිසි කොට්ඨාසයෙහි එක් එක් කොට්ඨාසයෙහි සූසාළිසක් බැගින් රූපයෝ වෙති. සෘතු, චිත්ත යන දෙකින් හටගන්නා සේද, අස්සු, ඛේළ, සිඞ්ඝානිකා යන මේ සිවු කොටසෙහි ඕජට්ඨමක දෙකක් වශයෙන් සොළොසක් බැගින් රූපයෝ වෙති. උදරිය, කරීස, පුබ්බ, මුත්ත යන උතුසමුට්ඨාතික (ඍතුවෙන් හටගන්නා) සතරෙහි උතුසමුට්ඨානික ඕජමට්ඨක වශයෙන් අටක් බැගින් රූපයෝ ප්‍රකට වෙති. මේ ද්වත්තිංසාකාර ක්‍රමයයි.
මේ ද්වත්තිංසාකාරය ප්‍රකට වූ කල්හි, තවද යම් දශ ආකාරයක් ප්‍රකට වේද, එහි පළමුකොට අසිත (කෑම බිදීම ආදී) ආහාර පැසවන කර්මජ වූ තෙජෝධාතු කොට්ඨාසයෙහි ඕජට්ඨමකය හා ජීවිත රූපයදැයි යනුවෙන් රූප නවයෙක් වේ. එසේම චිත්තජ වූ ආශ්වාස-ප්‍රශ්වාස කොටසෙහිද ඕජට්ඨමක හා ශබ්දයදැ’යි රූප නවයෙක් වේ. සෙසු චතුසමුට්ඨාන රූප අටෙහි ජීවිත නවක (‘ජීවිත’ යන්නෙන් අවසන්වන) කලාපයද ඕජට්ඨමක තුනදැ’යි මෙසේ තෙතිසක් බැගින් රූපයෝ ප්‍රකට වෙති.
මෙසේ ඔහුට විස්තර වශයෙන් දෙසාළිස් ආකාරයෙකින් මේ භූත-උපාදාය රූපයන් ප්‍රකට වූ කල්හි වස්තු හා ද්වාර වශයෙන් චක්‍ඛු ආදී පඤ්චදසකය හා හදයවත්‍ථු දසකයදැ’යි තවද රූපයෝ සැටක් ප්‍රකට වෙති. හේ තෙමේ එකී සියල්ලම රුප්පන (විනාශවන) ලක්‍ෂණ වශයෙන් සංග්‍රහ කොට ‘මේ රූපය’යි දකියි.
මෙසේ රූපය හඳුනාගත් පසු ඔහුට ද්වාර වශයෙන් අරූප ධර්මයෝ ප්‍රකට වෙයි. ඒ මෙසේය: පඤ්ච විඤ්ඤාණ දෙකද, මනෝධාතු තුනද, මනෝ විඤ්ඤාණ ධාතු සැට අටදැ’යි යන මේ එක් අසූවක් ලෞකික සිත් හා අවිශේෂයෙන් එම සිත් හා සමග උපන් ඵස්සය, වේදනාය, සඤ්ඤාය, චේතනාය, ජීවිතින්‍ද්‍රියය, චිත්තට්ඨිතිය, මනසිකාරයයි යන මේ චෛතසික සතද ප්‍රකට වේ. ලෝකෝත්තර සිත් වනාහි ශුද්ධ විදර්ශනා යානිකයාගේ හෝ සමථයානිකයාගේ හෝ විෂය පථයට නොපැමිණෙයි; එය අවබෝධ නොකළ හෙයිනි. ඒ යෝගාවචර තෙමේ එම සියලු අරූප ධර්මයන් නැමීම් ලක්‍ෂණයෙන් සංග්‍රහ කොට ‘මේ නාමය’ යි දකියි. මෙසේ එක් යෝගාවචර කෙනෙක් චතු ධාතු වවත්‍ථාන නයින් විස්තර වශයෙන් නාම-රූපයන් ව්‍යවස්ථාපනය කරයි.
අන් කෙනෙක් අටළොස් ධාතු වශයෙන් ගනිති. කෙසේද යත්:- ශාසනයෙහි එක් භික්‍ෂු කෙනෙක් මේ ආත්මභාවයෙහි චක්‍ඛුධාතුය. -පෙ- මනෝ විඤ්ඤාණ ධාතුය යන අටළොස් ධාතුන් ඇතැ’යි ආවර්ජනය කොට, ලෝවැස්සෝ සුදු හා කළු මඬුලුවලින් විසිතුරු වූ (නිශ්චිත) දිග - පළල සහිතවූ ඇස් කුහරය තුළ ස්නායු-තන්තුවෙන් බැඳුණ මාංස පිණ්ඩය ‘ඇස’ යයි හඳුනා ගනිත්ද, එය එසේ නොගෙන, ඛන්‍ධ නිද්දේසයෙහි, උපාදාය රූප විෂයයෙහි කියන ලද ස්වරූප සහිත චක්‍ඛුප්පසාදය චක්‍ඛුධාතුය’යි ව්‍යවස්ථාපනය කරයි.
එයට නිශ්‍රය වූ පඨවි ආදී ධාතු සතරද, පිරිවර වූ වර්ණ, ගන්‍ධ, රස, ඕජා රූපයන්ද අනුපාලක වූ ජිවිතින්‍ද්‍රියදැ’යි යන මේ සහජාත රූප නවයද, එහිම කායදසක-භාවදසක වශයෙන් සිටි කර්මජ රූප විස්සද, ආහාර සමුට්ඨානාදිය හා සමග බැඳුණ ඕජට්ඨමක තුන වශයෙන් වූ සූවිසි අනුපාදින්න (අකර්මජ) රූපදැ’යි මෙසේ සෙසු යම් තෙපණසක් රූපයෝ වෙත්ද, ඒ කිසිවක් චක්‍ඛුධාතු වශයෙන් ව්‍යවස්ථාපනය නොකරයි. සෝතධාතු ආදියෙහිද මෙම නයයි. කාය ධාතු විෂයයෙහි වනාහි අවශේෂ රූපයෝ තෙසාළිසක් වෙති: ඇතැම් ආචාර්ය කෙනෙක් උතු-චිත්ත සමුට්ඨානයන් ශබ්දය සමග නවයක් නවයක් කොට පන්සාළිසෙකැ’යි යෙති.