අරූපධම්මානං උපට්ඨානාකාරකථා
මෙසේ සුපිරිසුදු රූපය මෙනෙහි කරන ඒ යෝගාවචරයාහට අරූප ධර්මයෝ තුන් ආකාරයෙකින් වැටහෙති; ඵස්ස වශයෙන් හෝ වේදනා වශයෙන් හෝ විඤ්ඤාණ වශයෙනි. කෙසේද යත්: ඇතැම් යෝගී කෙනකුහට පළමුකොට, “රළු බව ලක්‍ෂණ කොට ඇත්තේ පඨවී ධාතුවයි” ආදී නයින් ධාතූන් විග්‍රහ කරන විට ප්‍රථමයෙන් ඵස්සය අරමුණට වැටෙයි; එය, එය හා සම්ප්‍රයුක්ත වූ වේදනාව වේදනාස්කන්‍ධයයිද, සඤ්ඤාව සඤ්ඤාක්ඛන්‍ධයයිද, ඵස්සය හා සමග යෙදෙන චේතනාව සංඛාරක්ඛන්‍ධයයිද, සිත විඤ්ඤාණක්ඛන්‍ධයයිද වැටහෙයි. එසේම “කේශයෙහි කැකුළු (රළු) බව ලක්‍ෂණකොට ඇත්තේ පඨවී ධාතුවයි -පෙ- ආශ්වාස ප්‍රශ්වාසයෙහිදී දැඩි බව ලක්‍ෂණ කොට ඇත්තේ පඨවී ධාතුවයි” යනුවෙන් පළමුවෙන් එය අරමුණට වැටෙයි; එය හා යෙදුණ වේදනාව වේදනාක්ඛන්‍ධයයිද -පෙ- චිත්තය විඤ්ඤාණක්ඛන්‍ධයයිද වැටහේ; මෙසේ අරූප ධර්මයෝ ඵස්සය අනුව වැටහෙති.
ඇතැම් රෝගී කෙනකුහට, කැකුළු (රළු) බව ලක්‍ෂණකොට ඇත්තේ පඨවි ධාතුවයි, එය අරමුණු කොට රස අනුභව කරන (අත්දැකීම් ලබන) වේදනාව වේදනාක්ඛන්‍ධයයිද, එය හා සමග යෙදුණ සඤ්ඤාව සඤ්ඤාක්ඛන්‍ධයයිද, එය හා සමග යෙදුණ ඵස්සය හා චේතනාව සංඛාරක්ඛන්‍ධයයිද, එය හා සමග යෙදුණ චිත්තය විඤ්ඤාණක්ඛන්‍ධයයිද වැටහේ. එසේම කේශයෙහි රළුබව ලක්‍ෂණකොට ඇත්තේ පඨවිධාතුවයි, -පෙ- ආශ්වාස ප්‍රශ්වාසයෙහි රළුබව ලක්‍ෂණකොට ඇත්තේ පඨවී ධාතුවයි. එය අරමුණු කොට අනුභූතිය (අත්දැකීම්) ලබන වේදනාව වේදනාක්ඛන්‍ධයයිද -පෙ- එය සමග යෙදුණ සිත විඤ්ඤාණක්ඛන්‍ධයයිද, වැටහේ. අරූපධර්මයෝ වේදනා වශයෙන් වැටහෙති.
අන් යෝගාවචර කෙනකුහට, කැකුළු බව ලක්‍ෂණකොට ඇත්තේ පඨවීධාතුවයිද අරමුණු දැන ගන්නා විඤ්ඤාණය විඤ්ඤාණක්ඛන්‍ධයයිද, එය හා සමග යෙදුණ වේදනාව වේදනාක්ඛන්‍ධයයිද, සඤ්ඤාව සඤ්ඤක්ඛන්‍ධයයිද, ඵස්සය හා චේතනාව සංඛාරක්ඛන්‍ධයයිද වැටහේ. එසේම කේශයෙහි රළුබව ලක්‍ෂණකොට ඇත්තේ පඨවී ධාතුවයිද, -පෙ- ආශ්වාස ප්‍රශ්වාසයෙහි රළුබව ලක්‍ෂණකොට ඇත්තේ පඨවීධාතුවයිද, අරමුණු දැන ගන්නා විඤ්ඤාණය විඤ්ඤාණක්ඛන්‍ධයයිද, එය හා සමග යෙදුණු වේදනාව වේදනාක්ඛන්‍ධයයිද, සඤ්ඤාව සඤ්ඤාක්ඛන්‍ධයයිද, ඵස්සය හා චේතනාව සංඛාරක්ඛන්‍ධයයිද වැටහේ. මෙසේ විඤ්ඤාණ වශයෙන් අරූප ධර්මයෝ වැටහෙති.
මේ අනුසාරයෙන්ම කර්මයෙන් හටගත් කේශයෙහි දැඩිබව ලක්‍ෂණ කොට ඇත්තේ පඨවිධාතුවයි’ ආදී නයින් දෙසාළිසක් වූ ධාතු කොට්ඨාසයන්හි, මූල ධාතු සතරක් සතරක් වශයෙන්ද, චක්‍ඛු ධාතු ආදී සෙසු රූපයන් පිළිබඳ පරිග්‍රහ විෂයයෙහි සියලු නය ප්‍රභේදයන් අනුව යමින් අර්ත්‍ථ යෝජනා කළයුතුය.
යම්හෙයකින් මෙසේ සූවිශුද්ධ රූප පරිග්‍රහ ඇති ඒ යෝගාවචරයාහට අරූපධර්මයෝ (ඵස්සය, වේදනා, විඤ්ඤාණය යන) තුන් ආකාරයෙන් ප්‍රකට වෙත්ද, එහෙයින් සුවිශුද්ධ රූප පරිග්‍රහ ඇත්තහු විසින්ම අරූප පරිග්‍රහය පිණිස යෝග කටයුතුය. අනෙකකු (රූප පරිග්‍රහ නැත්තකු) විසින් නොකටයුතුය. ඉදින් එක් රූපධර්මයක් හෝ දෙකක් වැටහුණ කල රූප පරිග්‍රහය හැර අරූපපරිග්‍රහය අරඹත්හොත් කර්මස්ථානයෙන් පිරිහෙයි; (ඉහත) පඨවිකසිණ භාවනා විෂයයෙහි කියන ලද ප්‍රකාර ඇති (මග තොට නුපුරුදු) පර්වත වාසී (ගව) දෙන මෙනි. සූවිශුද්ධ රූප පරිග්‍රහය ඇතිව අරූප පරිග්‍රහය පිණිස යෝග වඩන්නහුගේ කර්මස්ථානය වෘද්ධියට, පරිපූර්ණ බවට, මහත් බවට පැමිණෙයි.
ඒ යෝගාවචර තෙමේ මෙසේ ‘ඵස්ස’ ආදී වශයෙන් වැටහුණු අරූපී ස්කන්‍ධ චතුෂ්කය ‘නාම’ යයිද, එම අරූපයනට අරමුණු වූ සතර මහාභූතයන් හා එම සතර මහා භූතයනට අයත් උපාදාය රූපයන් ‘රූප’ යයිද ව්‍යවස්ථාපනය කරයි. මේ ආකාරයෙන් අටළොස් ධාතූන්ද, දොළොස් ආයතනයන්ද, පංච ස්කන්‍ධයන්ද යන සියලු ත්‍රෛභූමක ධර්මයන් කඩුවෙකින් කරඬුවක් විවර කරනු සෙයින්ද, දෙබිඩිතල් කඳක් පළනු සෙයින්ද ‘නාම’ යයිද ‘රූප’ යයිද යනුවෙන් දෙපරිද්දෙන් ව්‍යවස්ථාපනය කරයි. නාමරූප මාත්‍රයට වැඩි යම් සත්‍වයෙක් හෝ පුද්ගලයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ නැතැ’යි නිගමනයට පැමිණෙයි.