ජාතිනිද්දෙසො
කෙසේද යත්:- මේ ජාති-ශබ්දය වූකලී නොයෙක් අරුත් ඇත්තෙකි. ඒ එසේමැයි, “එකම්පි ජාතිං ද්වේ’පි ජාතියෝ’’ (එක් ආත්මභාවයක්ද ආත්මභාව දෙකක්දැ’යි) යන මෙහි මෙය භව-අර්‍ත්‍ථයෙහි වේ; “අත්ථි විසාඛෙ නිගණ්ඨා නාම සමණජාති” (විශාඛාවෙනි. නිගණ්ඨ නම්වූ ශ්‍රමණ නිකායක් ඇත) යන මෙහි නිකායාර්ත්ථයෙහි වේ; “ජාති ද්වීහි ඛන්ධෙහි සඞ්ගහිතා (හටගැනීම ස්කන්ධ දෙකෙකින් සංගෘහීත වේ) යන මෙහි සංකාර ලක්ෂණයෙහි වේ. “යං මාතු කුච්ඡස්මිං පඨමං චිත්තං උප්පන්නං, පඨමං විඤ්ඤාණං පාතුභූතං, තදූපාදාය සාවස්ස ජාති’’ (මව්කුස තුළ පළමුවෙන් සිත උපදනේද, පළමුවරට (ප්රතිසන්ධි) විඤ්ඤාණය පහළ වේද එතැන් සිට එයම ඔහුගේ උපත වේ) යන මෙහි පිළිසිඳීම් අරුත්හි වේ; “සම්පති ජාතො ආනන්ද බෝධිසත්තො” (ආනන්දය, උපන් වනම බෝධිසත්ව තෙමේ) යන මෙහි බිහිවීම් අරුත්හි වේ; “අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන” (කුලවාදය නිසා බැහැර කරන ලද්දේ, හෙලා දකින ලද්දේ නොවේ) යන මෙහි කුලය යන අරුත්හි වේ; “යතො’හං භගිනි, අරියාය ජාතියා ජාතො” (නැඟණිය, මා ආර්යජාතියෙහි උපන් තැන් පටන්) යන මෙහි ‘උතුම් ශීලය’ යන අර්‍ත්‍ථයෙහි වේ.
මෙහි වනාහි ජාති-ශබ්දය මව්කුස හෝනවුන්ගේ (ජලාබුජ සත්ත්වයන්ගේ) පිළිසිඳීමේ පටන් මව්කුසින් බිහිවීම දක්වා පැවති ස්කන්ධයන් කෙරෙහි වේ. (අණ්ඩජ ආදී) සෙසු සත්ත්වයන්ගේ ප්‍රතිසන්‍ධියෙහිදී පහළ වන ස්කන්ධයන් පමණක් හැඟවෙතැ’යි දතයුතුය. මේ වනාහි පර්යාය (සම්මුති) කථායි, නිෂ්පර්යාය (පරමාර්‍ත්‍ථ) වශයෙන් වනාහි ඒ ඒ තැන උපදනා සත්ත්වයන්ගේ යම් යම් ස්කන්ධයෝ පහළ වෙත්ද, ඒ ඒ ස්කන්ධයන් අතුරෙන් ප්‍රථම පහළ වීම ජාති නම් වේ.
එම ජාතිය ඒ ඒ භවයෙහි ප්‍රථමයෙන්ම ඉපැදීම ලක්ෂණ කොට ඇත්තේය. දුක් කරා මෙහෙයවීම කෘත්‍යය කොට ඇත්තේය. ඉකුත් භවයෙන් මේ භවයට මතුවීම වැටහීම් කොට ඇත්තේය. දුඃඛ විචිත්රතාව (දුක් නොයෙක් ආකාර වන බව) හෝ වැටහීම් කොට ඇත්තේ වේ.
කවර හෙයින් මෙය (ඉපදීම) දුක් නම් වන්නේද? අනේක ප්‍රකාර වූ දුක්වලට වස්තුවන හෙයිනි. දුක් වනාහි නොයෙක් ආකාර ඇත්තේ වේ; ඒ මෙසේයි:- දුක්ඛ දුක්ඛය, විපරිනාම දුක්ඛය, සංඛාර දුක්ඛය, පටිච්ඡන්න දුක්ඛය, අපටිච්ඡන්න දුක්ඛය, පරියාය දුක්ඛය, නිප්පරියාය දුක්ඛයයි යනුවෙනි.
එහි, කායික චෛතසික දුක්ඛවේදනා ස්වභාව වශයෙන්ද, නාම වශයෙන්ද දුක් වන හෙයින් දුක්ඛ දුක්ඛයයි කියනු ලැබේ;
සුඛවේදනා විපරිණාමයෙන් දුක් ඉපැදීමට හේතුවන හෙයින් විපරිණාම දුක්ඛයයිද,
උපෙක්ඛා වේදනා හා භවත්රයයට අයත් සංස්කාරයන් ඇතිව නැතිවන සුලු හෙයින් සංඛාර දුක්ඛ යයිද කියනු ලැබේ; කන් කැක්කුම්, දත් කැක්කුම්, රාගයෙන් උපන් පරිදාහ, ද්වේෂයෙන් උපන් පරිදාහ ආදී කායික, මානසික ආබාධයන් විමසා දතයුතු හෙයින්ද, උපක්‍රම අප්‍රකට හෙයින්ද, පටිච්ඡන්න දුක්ඛ නම්වේ; අපාකට දුක්ඛයයිද කියනු ලැබේ.
දෙතිස් වධ බන්ධනාදියෙන් උපන් පීඩා නොවිමසාම දත හැකි වන හෙයින්ද, උපක්රමයන් ප්‍රකට වන හෙයින්ද අප්පටිච්ඡන්න දුක්ඛ නම්වේ. පාකටදුක්ඛ යයිද කියනු ලැබේ.
දුක්ඛදුක්ඛය හැර සෙසු දුඃඛයන් දුක්ඛ සච්ච විභඞ්ගයෙහි ආයේය. ජාති ආදී වූ සියල්ලම, ඒ ඒ දුඃඛයනට වස්තුවන හෙයින් පර්යාය (අනියත) දුඃඛ යයිද, දුක්ඛ දුක්ඛය වනාහි නිප්පරියාය (නියත) දුක්ඛයයිද කියනු ලැබේ.
එහි, මේ ජාති හෙවත් ඉපදීම බාල පණ්ඩිත සුත්ත ආදියෙහි භාග්‍යවතුන් වහන්සේ විසින්ද උපමා වශයෙන් ප්‍රකාශ කරන ලද යම් අපාදුකක් වේද, එසේම සුගති සංඛ්‍යාත මිනිස් ලොවෙහි මව්කුස පිවිසීම ආදිය මුල් කොට යම් දුකක් උපදීද, එයට වස්තු වන හෙයින් දුඃඛ නම්වේ.
එහි, ගබ්භොක්කන්ති මූලක (මව්කුස පිවිසීම් ආදිය මුල් කොට ඇති වන) ආදී හේතු සහිත දුඃඛය මෙසේයි:- මේ සත්ත්ව තෙමේ මව්කුස උපදනේ උපුල්, රත්පියුම්, හෙළ පියුම් ආදිය තුළ මෙන් (සුවසේ) උපදනේ නොවේ. තවද ආමාශයට යටින් පක්‍වාශයට උඩින් උදර පටලයටත් පිටකටුවටත් මැදිව, ඉතා ගැහැට සහිත, ඝනාන්ධකාර සහිත, නොයෙක් කුණු ගඳ වැකුණු ඉතා දුගඳවත් වාතයට විවර වූ ඉතාමත් පිළිකුල් දනවන කුස් පෙදෙසෙක්හි, කුණුමසකු තුළ, පිළුනු කොමුපිඬුවක් තුළ, අසූචි වළක් තුළ උපදනා පණුවකු මෙන් උපදනේය; එසේ උපන් ඒ සත්ත්ව තෙමේ දසමසක් මව්කුස හටගත් උණුසුමින් උනෙහි පැසෙන පිට්ටුවක් සෙයින් වේදුමින් පැසෙමින්, අත් පා හැකිලීම් දිග හැරීම් ආදියට පවා අස්වැසුමක් නැතිව, ඉතා දැඩි දුකක් විඳියි; මේ වනාහි ශබ්භොක්කන්ති මූලක දුක්ඛයයි.