ඉන්ද්රියවිත්ථාරකථා
ධාතූනට අනතුරුව ඉන්ද්රියයන් දක්වන ලදැ’යි, ඔහු දෙවිස්සෙක් වෙති:- චක්ඛුන්ද්රිය, සෝතින්ද්රිය, ඝාණින්ද්රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්ද්රිය, ඉත්ථින්ද්රිය, පුරිසින්ද්රිය, ජීවිතින්ද්රිය, සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සෝමනස්සින්ද්රිය, දෝමනස්සන්ද්රිය, උපෙක්ඛින්ද්රිය, සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය, අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රිය, අඤ්ඤින්ද්රිය, අඤ්ඤතාවින්ද්රිය යනුවෙනි. එහි:-
අත්ථතො ලක්ඛණාදීහි කමතො ච විජානියා
භෙදාභෙදා තථා කිව්වා භූමිතො ච විනිච්ඡයො
භෙදාභෙදා තථා කිව්වා භූමිතො ච විනිච්ඡයො
අර්ත්ථ වශයෙන්ද, ලක්ෂණාදී වශයෙන්ද, ක්රම වශයෙන්ද, භේදා භේද වශයෙන්ද, එසේම කෘත්ය වශයෙන්ද, භූමි වශයෙන්ද විනිශ්චයය දතයුතුය.
එහි, චක්ඛු ආදිය පිළිබඳව, පළමුකොට, අරමුණු ආස්වාද කෙරෙති’යි රස විඳිති’යි යන අරුතින් චක්ඛු නම් වෙති’යි ආදී වශයෙන් අර්ත්ථය (ධාතු-ආයතන නිද්දේශයෙහි) ප්රකාශ කරන ලදි. දෙවිසි ඉන්ද්රියයන් අතුරෙන් අවසන්හි සඳහන් තුනෙන් පළමුවැන්න පෙර නොදන්නා ලද අමෘත පදය නොහොත් චතුස්සත්ය ධර්මය අවබෝධ කරන්නෙමැ’යි මෙසේ පිළිපන්නහුට උපදනා හෙයින්ද, ඉන්ද්රියාර්ත්ථය දරන හෙයින්ද ‘අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියයයි කියන ලදි. දෙවැන්න (සෝවාන් මාර්ගඥානයෙන්) මනාකොට දන්නාලද හෙයින්ද, ඉන්ද්රියාර්ත්ථය දරන හෙයින්ද, අඤ්ඤින්ද්රියයි කියන ලදි. තුන්වැන්න චතුස්සත්ය විෂයයෙහි පරිසමාප්ත ඥාන කෘත්යයන් ඇති ක්ෂීණාශ්රවයාහට උපදනා හෙයින්ද ඉන්ද්රියාර්ත්ථය දරන හෙයින්ද අඤ්ඤතාවීන්ද්රියයයි කියන ලදි.
මෙකී චක්ඛු, සෝත ආදීන්ගේ ඉන්ද්රියාර්ත්ථය (ඉන්ද්රියට්ඨ) යනු කවරේද යත්:- ඉන්ද්ර නම් අසහාය පාලකයාගේ ස්වභාව සංකේතවත් කෙරෙති’යි යන අර්ත්ථය ඉන්ද්රියාර්ත්ථයයි, ‘ඉන්ද්ර’ යයි හැඳින්විය හැකි ශාක්යමුනීන්ද්රයන් වහන්සේ විසින් දේශනා කරන ලදැ’යි යන අර්ත්ථය ඉන්ද්රියාර්ත්ථයයි, මුනීන්ද්රයන් වහන්සේ විසින් දක්නා ලදැ’යි යන අර්ත්ථය ඉන්ද්රියාර්ත්ථයයි, ඉන්ද්ර ස්වභාවය දරන කර්මය විසින් නිපදවන ලදැ’යි යන අර්ත්ථය ඉන්ද්රියාර්ත්ථයයි. එම කර්මය විසින්ම වෙසෙස් කොට රචිතය’යි යන අර්ත්ථය ඉන්ද්රියාර්ත්ථයයි. මෙකී සියලු අරුත් මෙහි යෙදේ. සම්යක් සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ වනාහි පරමේශ්වරභාවය දරන හෙයින් ‘ඉන්ද්ර’ නම් වන සේක. කර්මයන් කෙරෙහිද, කිසිවකුටත් ඊශ්වරභාවයක් නොමැති හෙයින් කුශල වූ හෝ අකුශල වූ කර්මයද ‘ඉන්ද්ර’ නම්වේ. එහෙයින් මෙහිලා කර්මය විසින් නිපදවන ලද ඉන්ද්රියයන් වෙසෙස් කොට (සිට්ඨ) සංකේතවත් කෙරෙති’යි, එම කර්මය විසින්ම රචිතයහ’යි ඉන්ද්ර ලිංගාර්ත්ථයෙන්ද ඉන්ද්ර සිට්ඨාර්ත්ථයෙන්ද ඉන්ද්රිය නම් වෙයි. මේ සියලු ඉන්ද්රියයෝ භාග්යවතුන් වහන්සේ විසින් තත්වූ පරිද්දෙන් ප්රකාශ කරන ලද්දාහ’යි, මනාකොට අවබෝධ කරන ලදහ’යි යන ඉන්ද්ර දේශිත අර්ත්ථයෙන් හා ඉන්ද්රදිට්ඨාර්ත්ථයෙන් එනම් වෙති. එම භාග්යවත් මුනීන්ද්රයන් වහන්සේ විසින්ම ඇතැම් ඉන්ද්රියයන් ගෝචර හෙවත් අරමුණු ආසේවන වශයෙන්ද, ඇතැම් ඉන්ද්රියයන් භාවනා ආසේවන වශයෙන්ද සෙවුනා ලදහ’යි ඉන්ද්රජුට්ඨාර්ත්ථයෙන්ද එනම් වෙති.
තවද ආධිපත්ය සංඛ්යාත ඊශ්වරාර්ත්ථයෙන්ද මොවුහු ඉන්ද්රිය නම් වෙති. චක්ඛු විඤ්ඤාණාදිය පිළිබඳ පැවැත්මෙහිදී චක්ඛු ආදීන්ගේ ආධිපත්යය සිද්ධ වේ. චක්ඛු ආදීන් තියුණු වූ කල්හි චක්ඛු විඤ්ඤාණාදීන්ද තියුණු වන හෙයින් හා මොට වූ කල්හි මොට වන හෙයිනි. මේ මෙහි අර්ත්ථ වශයෙන් විනිශ්චයයයි.
‘ලක්ඛණාදීහි’ යනු, ලක්ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන වශයෙනුදු චක්ඛු ආදීන්ගේ විනිශ්චයය දතයුතුය යන අර්ත්ථයි. ඔවුන් පිළිබඳ එම ලක්ඛණාදිය ඛන්ධ නිද්දේසයෙහි කියන ලදුයේමය. පඤ්ඤින්ද්රිය ආදී (අවසන්) ඉන්ද්රිය සතර අර්ත්ථ වශයෙන් අමෝහයම වේ. සෙසු ඉන්ද්රියයෝ ස්වරූපයෙන්ම එහි ආවාහුය. (සඳහන්වෙත්).
‘කමතො’ යනු, දේශනා ක්රමයමැයි, එහි, ‘අභ්යන්තර ධර්මයන් මනාව අවබෝධ කිරීමෙන් ආර්යභූමි ප්රතිලාභය සිද්ධ වෙති’යි කී හෙයින් ආත්මභාවයට අයත් චක්ඛුන්ද්රිය ආදිය පළමුකොට දේශනා කරන ලදි. එම ආත්මභාවය යම් ස්වභාවයක් හේතු කොට ස්ත්රියකැයි හෝ පුරුෂයෙකැයි ව්යවහාරයට යේද, මේ එම ස්වභාවයැයි දක්වනු පිණිස ඉන් අනතුරුව ඉත්ථින්ද්රිය පුරිසින්ද්රිය යන දෙක දේශනා කරන ලදි. එම ද්විවිධ වූම ස්වභාවය ජීවිතින්ද්රියය හා සමග බැඳුණු පැවතුම් ඇතැයි හඟවනු පිණිස ඉන් අනතුරුව ජීවිතින්ද්රිය දේශනා කරන ලදි. යම්තාක් එම ජීවිතින්ද්රිය පවතීද, ඒතාක් වේදයිත ධර්මයන්ගේ නැවැත්ම නොවෙති’ යයිද, යම්කිසිවක් වේදයිත වේනම් ඒ සියල්ල දුකෙකියි හඟවනු පිණිස ඉන් අනතුරුව සුඛින්ද්රිය ආදිය දේශනා කරන ලදි, එම සුඛදුඃඛාදිය නිවාරණය පිණිස මේ ධර්මයන් වැසිය යුතුය’යි පිළිපැදීම දක්වනු පිණිස ඉන් ඉක්බිති සද්ධින්ද්රිය ආදිය දේශනා කරන ලදි; මේ පිළිපැදීම හේතුකොට මේ ධර්මය පළමුකොට තමා තුළ පහළ වෙති’යි පිළිපැදීමෙහි නොසිස්බව දක්වනු පිණිස අනතුරුව අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියය දේශනා කරන ලදි; එම ඉන්ද්රියයෙහිම ඵලය වන හෙයින්ද, ඉන්පසු වැඩියයුතු හෙයින්ද, ඉනුදු අනතුරුව අඤ්ඤින්ද්රියය දේශනා කරන ලදි. ඉනික්බිතිව එම ඉන්ද්රියය වැඩීමෙන් මේ ඉන්ද්රියයෙහි අධිගමය වන්නේය’යිද, මෙය අවබෝධ කළ කල්හි තවදුරටත් කළයුතු කිසිවක් නැත්තේය’යිද හඟවනු පිණිස අවසන්හි පරමාස්වාද වූ අඤ්ඤතාවීන්ද්රියය දේශනා කරන ලදැ’යි යනු මෙය පිළිබඳ ක්රමය වේ.