සච්චවිත්ථාරකථා
ඉන්ද්රියයනට අනතුරුව සත්යයෝය’යි, දුඃඛ ආර්ය සත්යය, දුඃඛ සමුදය ආර්ය සත්යය, දුඃඛ නිරෝධ ආර්ය සත්යය, දුඃඛ නිරෝධ-ගාමිනී පටිපදා ආර්ය සත්යය යන මේ චතුරාර්ය සත්යය දක්වනු ලැබේ. එහි:-
විභාගතො නිබ්බචන - ලක්ඛණාදිප්පභෙදතො
අත්ථත්ථුද්ධාරතො චෙව අනූනාධිකතො තථා
අත්ථත්ථුද්ධාරතො චෙව අනූනාධිකතො තථා
කමතො ජාති ආදීනං නිච්ඡයා ඤාණ කිච්චතො
අන්තොගධානං පභේදා උපමාතො චතුක්කතො
අන්තොගධානං පභේදා උපමාතො චතුක්කතො
සුඤ්ඤතෙක විධාදීහි සභාග විසභාගතො
විනිච්ඡයො වෙදිතබ්බො විඤ්ඤූනා සාසනුක්කමෙ
විනිච්ඡයො වෙදිතබ්බො විඤ්ඤූනා සාසනුක්කමෙ
විභාග වශයෙන්ද, නිර්වචන වශයෙන් හා ලක්ෂණාදී ප්රභේද වශයෙන්ද, අර්ත්ථ වශයෙන් හා අර්ත්ථය මතුකොට දැක්වීම් වශයෙන්ද, එසේම, නො-අඩු නොවැඩි බැව් වශයෙන්ද,
ක්රම වශයෙන්ද, ජාති ආදිය පිළිබඳ නිශ්චය වශයෙන්ද, ඥානකෘත්ය වශයෙන්ද, අන්තර්ගත ධර්මයන් පිළිබඳ ප්රභේද වශයෙන්ද, උපමා වශයෙන්ද, චතුෂ්ක වශයෙන්ද,
ශුන්ය වශයෙන් හා ඒකවිධාදී වශයෙන්ද, සභාග විභාග වශයෙන්ද, (යන මේ සොළොස් ආකාරයෙන්) ශාසන ක්රමයෙහි නිපුණ වූවහු විසින් මෙහි විනිශ්චයය දතයුතුය.
එහි, ‘විභාගතො’ යනු, දුඃඛාදී වූ එක් එක් සත්යයක් පිළිබඳව සතරක් සතරක් බැගින් තථ (තත්) වූ, අවිතථ (නොතතු නො) වූ, අනඤ්ඤථ (අන්අයුරු නො) වූ අර්ත්ථයෝ බෙදා දක්වන ලද්දාහුය. එම දුඃඛාදිය විනිවිද දකිනු කැමැත්තවුන් විසින් එම අරුත් දතයුතුය කියන ලදමැයි: දුඃඛය පිළිබඳ පීඩනාර්ත්ථය, සංඛතාර්ත්ථය, සන්තාපාර්ත්ථය, විපරිණාමාර්ත්ථය යන මේ සතර දුඃඛය පිළිබඳ තථ වූ, අවිතථවූ, අනඤ්ඤථ වූ දුඃඛාර්ත්ථයි. සමුදයය පිළිබඳ ආයූහනාර්ත්ථය, නිදානාර්ත්ථය, සංයෝගාර්ත්ථය -පෙ-, නිරෝධය පිළිබඳ නිශ්ශරණාර්ත්ථය, විවික්තාර්ත්ථය, අසංඛතාර්ත්ථය, අමෘතාර්ත්ථය-පෙ-, මාර්ගය පිළිබඳ නිර්ගමනාර්ත්ථය, හේත්වර්ත්ථය, දර්ශනාර්ත්ථය, ආධිපත්යාර්ත්ථය යන මේ සතර මාර්ගය පිළිබඳ නම්වූ, අවිතථවූ, අනඤ්ඤථවූ මාර්ගාර්ත්ථයි. එසේම දුක පිළිබඳ පීඩනාර්ත්ථය, සංඛතාර්ත්ථය, සන්තාපාර්ත්ථය, හා විපරිණාමාර්ත්ථය අවබෝධ කරගත යුතු අර්ත්ථයි, යන මේ ආදියයි. මේ ආකාරයෙන් සතරක් සතරක් බැගින් බෙදා දක්වන ලද අර්ත්ථයන් අනුව දුඃඛ ආදිය දතයුතුය. මේ මෙහි විභාග වශයෙන් වූ විනිශ්චයයි.
‘නිබ්බචන ලක්ඛණාදිප්පභේදතෝ’ යන මෙහි, පළමුකොට නිර්වචන වශයෙන් යනු, ‘දු’ යන මේ ශබ්දය කුත්සිතාර්ත්ථය දක්වා ලැබේ. කුත්සිත වූ (නින්දා කටයුතු) පුත්රයා ‘දුප්පුත්ත’ යයි කියනු ලැබේ. ඛ-ශබ්දය රික්තාර්ත්ථයෙහි වේ. හිස්වූ ආකාශය ‘ඛ’ යනුවෙන් හඳුන්වනු ලැබේ. මේ පළමුවන (දුඃඛ) සත්යය නොයෙක් උවදුරුවලට උත්පත්ති ස්ථාන වූ හෙයින් කුත්සිත වේ. අඥාන ජනයා විසින් ඇතැ’යි සලකනු ලබන නිත්ය-ශුභ -සුඛ-ආත්ම ස්වභාවයෙන් තොර වූ හෙයින් තුච්ඡ (හිස්) ද වේ. එහෙයින් නින්දිත වූ බැවින්ද තුච්ඡ වූ බැවින්ද ‘දුක්ඛ’ යයි කියනු ලැබේ.
‘සං’ යන ශබ්දය ‘සමාගම’, ‘සමේත’ ආදි තන්හි සංයෝගාර්ත්ථය දක්වයි; ‘උ’ යන මේ ශබ්දය ‘උප්පන්න, ‘උදිත’ ආදී තන්හි උත්පත්ති අර්ත්ථයද, ‘අය’ ශබ්දය කාරණාර්ත්ථයද පවසයි. මේ දෙවන (සමුදය) සත්යයද සෙසු ප්රත්යයන්ගේ සංයෝගය ඇති කල්හි දුක ඉපැදීමට හේතු වේ; මෙසේ දුකෙහි උපතට හේතු වූ හෙයින්, දුක් හා සමග යෙදීමෙන් ‘දුක්ඛ සමුදය’යි කියනු ලැබේ.
තුන්වන සත්යය, යම් හෙයකින් ‘නි’ ශබ්දය අභාවාර්ත්ථයද, ‘රෝධ’ ශබ්දය චාරක (සිර ගෙය යන) අර්ත්ථයද දක්වන හෙයින් මෙහි සංසාරචාරකයයි කියනු ලබන දුඃඛ නමැති සිරගෙය අභාවයට පත්වේ. සියලු සංසාරගත ශුන්ය වූ හෙයිනි. නොහොත්, එය අවබෝධ කළ විට ‘සංසාරචාරක’යයි කියනු ලබන දුඃඛ නමැති චාරකයෙහි අභාවය සිදුවේ. එම සංසාර නමැති සිරගෙයට ප්රතිපක්ෂ වූ හෙයින්ද ‘දුක්ඛ නිරෝධ’ යයි කියනු ලැබේ. දුඃඛය පිළිබඳ අනුත්පාද නිරෝධයට ප්රත්යය වන හෙයින් හෝ ‘දුක්ඛ නිරෝධ’යයි කියනු ලැබේ.