ආයතනවිත්ථාරකථා
ආයතන යනු, චක්ඛායතනය. රූපායතනය, සෝතායතනය, සද්දායතනය, ඝාණායතනය, ගන්ධායතනය, ජීව්හායතනය, රසායතනය, කායායතනය, ඵොට්ඨබ්බායතනය, මනායතනය, ධම්මායතනය යන දොළොස් ආයතනයි. එහි:-
අත්ථලක්ඛණතාවත්ව කම සංඛෙප විත්ථාරා
තථා දට්ඨබ්බතො චෙව විඤ්ඤාතබ්බො විනිච්ඡයො
තථා දට්ඨබ්බතො චෙව විඤ්ඤාතබ්බො විනිච්ඡයො
අර්ත්ථ වශයෙන්ද, ලක්ෂණ වශයෙන්ද, නො-අඩු නොවැඩි බැව් වශයෙන්ද, ක්රම (අනුපිළිවෙළ) වශයෙන්ද, සංක්ෂේප-විස්තාර වශයෙන්ද, එසේම දැකිය යුතු ආකාර වශයෙන්ද (එම දොළොස් ආයතනයන් පිළිබඳ) විනිශ්චයය දතයුතුවේ.
එහි පළමුකොට විශේෂ වශයෙන් දකිති’යි යන අර්ත්ථයෙන් ‘චක්ඛු’ නම් වේ. රූපය ආස්වාදනය කෙරෙති’යි, ප්රකට කෙරෙති’යි යන අර්ත්ථයි. නිරූපණය කෙරෙති’යි යන අර්ත්ථයෙන් ‘රූප’ නම්වේ. වර්ණ විශේෂයන් ප්රකාශ කෙරෙති’යි යන අර්ත්ථයි. අසති’යි යන අර්ත්ථයෙන් ‘සෝත’ නමි. (කණින් ඇසිය යුතු බවට යෙති’යි යන අර්ත්ථයෙන් ‘සද්ද’ නමි, ශ්රෝත්රය වෙතට පමුණුවනු ලැබෙති’යි යන අර්ත්ථයි. ආඝ්රාණය කෙරෙති’යි ‘ඝාණ’ නමි. වහනය වෙති’යි ‘ගන්ධ’ නමි. තමාගෙන් නිකුත්වන ද්රව්යය සූචනය කෙරෙති’යි යන අර්ත්ථයි. දිවි පැවැත්මට මුල් වූ රසය තමා වෙත කැඳවතියි ‘ජීව්හා’ නමි. ප්රාණීන් එය සායනය කෙරෙති’යි ‘රස’ නමි. ආස්වාද කෙරෙති’යි යන අර්ත්ථයි. පිළිකුල් සහගත වැගිරෙන දෙයට නිජබිම් වෙති’යි ‘කාය’ නමි. ‘ආය’ යනු උත්පත්තිස්ථානයයි. පහස දනවති’යි ඵොට්ඨබ්බ’ නමි. දනිති’යි ‘මනො’ නමි. ස්වලක්ෂණයන් දරති’යි ‘ධම්ම’ නමි.
අවිශේෂ වශයෙන් වනාහි, (චිත්ත චෛතසිකයන්ගේ කාර්යසිද්ධිය පිණිස) යත්න කරන හෙයින්, (ආය සංඛ්යාත චිත්ත චෛතසිකය පතුරුවන හෙයින්, දික්වූ සංසාර දුඃඛය එළවන හෙයින් හෝ ‘ආයතනය’යි දතයුතුය. ද්වාරාරම්මණ චිත්ත චෛතසික ධර්මයන් චක්ඛු රූප ආදීන් අතුරෙන් එකක් එකක් අනූභවනාදී වූ ස්ව-කාර්යයන් මගින් පතුරුවති’යි, එම කාර්යයන් සඳහා නැගී සිටිති’යි, ගැටෙති’යි, යත්න කෙරෙති’යි කී නියායි. තවද මේ ආයතනයන් ‘ආය’ සංඛ්යාත එම ධර්මයන් පතුරුවති’යි, පුළුල් කෙරෙති’යි කී නියායි. එසේම අග-මුල් නොදතහැකි සංසාරයෙහි පවත්නා ඉතා දික්වූ මේ සංසාර දුඃඛය යම්තාක් නොනවතීද, ඒතාක් ගෙන යති’යි, පවත්වති’යි, කී නියායි. මෙසේ මේ සියලු ධර්මයෝ යත්න කරන හෙයින්ද, ආය සංඛ්යාත චිත්ත චෛතසිකයන් පතුරුවන හෙයින්ද, දීර්ඝ වූ සංසාර දුඃඛය එළවන හෙයින්ද, ‘ආයතනය, ආයතනය’යි වහරනු ලබති.
තවද, නිවාසස්ථානය යන අරුතින්ද. ආකාරය යන අරුතින්ද, සංචාරස්ථානය යන අරුතින්ද, ජාතභූමිය යන අරුතින්ද, කාරණය යන අරුතින්ද ආයතන නම් වෙති’යි දතයුතුය. ඒ එසේමය. ලොකයෙහි, ‘ඉස්සරායතනය’, ‘වාසුදේවායතනය’ යන ආදී තන්හි නිවාසස්ථානයද සුවණ්ණායතනය, රතනායතනය යන ආදී තන්හි ආකරයද, ‘ආයතනය’යි වහරනු ලැබේ. ශාසනයෙහි වනාහි, “මනොරමේ ආයතනෙ සෙවන්ති තං විහඞ්ගමා (මනරම් ආයතනය තුළ ක්ෂීණාශ්රව නමැති පක්ෂීහු ඒ සර්වඥ නමැති මහාවෘක්ෂය සේවනය කරති)” යන තන්හි ගැවසෙන ස්ථානයද, “දක්ඛිණාපථො ගුන්නං ආයතනං’’ (දක්ෂිණාපථය ගවයනට ආයතනය)” යන ආදී තන්හි උත්පත්ති ස්ථානයද, “තත්ර තත්රෙ’ව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ” (අභිඥාලාභයට සුදුසු පෙර පුරුදු ඇති කල්හි (ඉද්ධිවිධාදී වූ) ඒ ඒ අභිඥාවිෂයයෙහි සක්ඛිභබ්බතාවට (පහසුවෙන් දක්නට සමත් බවට පැමිණෙයි) යන ආදී තන්හි හේතුවද ‘ආයතනය’යි වහරනු ලැබේ.
‘චක්ඛු’ ආදී තන්හිද ඒ ඒ චිත්ත-චෛතසික ධර්මයන් තම තමනට අයත් වෘත්ති වශයෙන් ඒ ඒ ආයතන තුළ වෙසෙති’යි එම චක්ඛු-ආදියද ඒ ඒ චිත්ත-චෛතසික ධර්මයනට නිවාසස්ථාන වේ. එම චිත්ත-චෛතසික ධර්මයන් චක්ඛු ආදී තන්හි ගැවසෙන හෙයින්ද, ඇසුරු කොට සිටින හෙයින්ද, අරමුණු කොට පවත්නා හෙයින්ද එම චක්ඛු ආදිය ඔවුනට ආකර වේ. තවද එම “චක්ඛු ආදියද ඒ ඒ තන්හි වත්ථුද්වාරාරම්මණ වශයෙන් ගැවසෙන හෙයින් එම චිත්ත -චෛතසිකයනට සංචාරස්ථානයද වේ; නිස්සයාරම්මණ වශයෙන් එහිම උපදනා හෙයින් එම චක්ෂුරාදිය ඔවුනට උත්පත්ති ස්ථානද වේ; එසේම චක්ෂුරාදිය නොමැති තැන ඔවුන්ද නොමැති හෙයින් චක්ෂුරාදිය ඒ චිත්ත-චෛතසිකයනට කාරණ ද වේ. මෙසේ නිවාසස්ථානාර්ත්ථය, ආකරාර්ත්ථය, සමොසරණ ස්ථානාර්ත්ථය, උත්පත්ති ස්ථානාර්ත්ථය, කාරණාර්ත්ථය යන මෙකී කරුණු අතින් මේ චක්ෂුරාදී ධර්මයෝ ‘ආයතන, ආයතනය’යි වහරනු ලැබෙති.
එහෙයින් මෙසේ කියන ලද ඒ ඒ අර්ත්ථයෙන්, චක්ඛු වූයේද එම ආයතන වූයේද -පෙ- ධම්ම වූයේද එම ආයතන වූයේද ධම්මායතන නම්වෙති’යි මෙසේ අර්ත්ථ වශයෙන් මෙහි විනිශ්චයය දතයුතුය.
ලක්ඛණ යනු, ලක්ෂණ වශයෙන්ද මේ චක්ෂුරාදිය පිළිබඳ විනිශ්චයය දතයුතුවේ. එම ලක්ෂණයන් ඛන්ධ නිද්දේසයෙහි කී නයින්ම දතයුතු වේ.
තාවත්ව යනු, තාවත් (නොඅඩු නොවැඩි) ස්වභාව වශයෙනි’යි කී නියායි. චක්ෂුරාදියද ධර්මයෝමයි. එසේනම් හුදෙක් ‘ධර්මායතන’ යයි නොකියා ‘ද්වාදශායතන’යයි කුමක් හෙයින් කියන ලද්දේද යත්: විඤ්ඤාණ -කාය සයෙහි හටගැනීමට හේතූවන ද්වාරයන් හා ආලම්බනයන් පිරිසිඳ දක්වනු පිණිසයි. මෙහිදී, (චක්ඛු විඤ්ඤාණ ආදී) විඤ්ඤාණ කාය සයට ද්වාර වශයෙන්ද, ආලම්බන වශයෙන්ද වෙන්කොට දැක්වීම සඳහා ආයතනයන් පිළිබඳ මේ භේදය වෙති’යි දොළොසෙක් කියනලදි. චක්ඛු - විඤ්ඤාණ වීථියට ඇතුළත් විඤ්ඤාණකායයට චක්ඛු-ආයතනයම උත්පත්ති-ද්වාර වේ. රූපායතනයට ආරම්මණ වේ; එසේම සෙසු විඤ්ඤාණ කායයනට සෙසු ආයතනයෝ (උත්පත්ති-ද්වාරද ආරම්මණ ද වෙති. සවන (මනෝ විඤ්ඤාණවීථියට අයත්) විඤ්ඤාණ කායයට ‘භවංග චිත්තය’යි කියනු ලබන මනායතන-ඒක දේශය (කොටස)ම උත්පත්තිද්වාර වේ. (චක්ඛු ආදීනට පොදු නොවූ) ධම්මායතනයම ආරම්මණ වේ. මෙසේ විඤ්ඤාණ කාය සයට උත්පත්ති-ද්වාර හා ආරම්මණ වශයෙන් දොළොසක් කියන ලදි. මෙසේ තාවත්ව වශයෙන් මෙහි විනිශ්චයය දතයුතුවේ.