ධාතුවිත්ථාරකථා
අනතුරුව, ‘ධාතුයො’ යනු, චක්‍ඛුධාතු, රූපධාතු, චක්‍ඛු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාණ ධාතු, ගන්ධ ධාතු, ඝාණ විඤ්ඤාණධාතු, ජිව්හාධාතු, රසධාතු, ජිවහා විඤ්ඤාණධාතු, කාය ධාතු, ඵොට්ඨබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝධාතු, ධම්මධාතු, මනෝවිඤ්ඤාණ ධාතුය යන අටළොස් ධාතූහුය. එහි -
අත්‍ථතො ලක්‍ඛණාදීහි කම තාවත්‍ව සඞ්ඛතො
පච්චයා අථ දට්ඨබ්බා වෙදිතබ්බො විනිච්ඡයො
අර්ත්‍ථ වශයෙන්, ලක්‍ෂණාදී වශයෙන්, ක්‍රම වශයෙන්, තාවත්‍ව වශයෙන්, සංඛ්‍යා වශයෙන්, ප්‍රත්‍යය වශයෙන් හා දට්ඨබ්බ වශයෙන් විනිශ්චයය දතයුතුය.
එහි ‘අත්‍ථතො’ යනු, දකිති’යි යන අරුතින් ‘චක්‍ඛු’ නම්වේ. රූපණය කෙරෙති’ යි ප්‍රකාශ කෙරෙති’යි යන අරුතින් ‘රූප’ නම්වේ. චක්‍ඛු හේතුවෙන් ඇතිවන විඤ්ඤාණය චක්‍ඛු විඤ්ඤාණයි; මේ ආදී නයින් චක්‍ඛු ආදීන් පිළිබඳ විශේෂාර්ත්‍ථ වශයෙන් විනිශ්චයය දතයුතුය. අවිශේෂ වශයෙන් වනාහි (විද්ධති) විධාන කෙරෙති’යි (කර්තෘකාරකයෙහි) හෝ, (ධීයති විධානං) විධානය දරනු ලැබෙති’යි (කර්මකාරකයෙහි) හෝ, (විධීයතෙ) විධාන මාත්‍රය’යි (භාවකාරකයෙහි) හෝ, (එතාය චෙත්‍ථ වා ධීයති) මෙය කරණකොට නොහොත් මෙහි පිළියෙළ කරනු ලැබෙති’යි (කරණ කාරකයෙහි නොහොත් ආධාර කාරකයෙහි) හෝ ධාතු නම්වේ. රන් රිදී ආදීනට කාරණ වූ ධාතූන් රන් රිදී ආදිය උපදවන්නාක් මෙන් ලෞකික වූ ධාතූහු කාරණ භාවයෙන් පිරිසිඳිනු ලඳුව නොයෙක් ප්‍රකාර ඇති සසර දුක් වර්ග කෙරෙති’යි, බර උසුලන්නවුන් ලවා බර මෙන්, සත්ත්‍වයන් ලවා අදවති’යි, උසුලවති’යි යන අර්ත්‍ථයි. වසඟයෙහි නොපවත්නා හෙයින් මේ ධාතූහු හුදෙක් දුඃඛ විධාන මාත්‍ර වෙති. මේ ධාතුන් විසින් කාරණ වශයෙන් සිට සත්ත්‍වයින් ලවා සසර දුක් උසුලවනු ලැබෙති’යි, එසේ කරමින්ම මේ ධාතුන් කෙරෙහිම සසර දුක් විධාන කරනු ලැබෙති’යි, පිහිටුවනු ලැබෙති’යි යන අර්ත්‍ථයි. මෙසේ චක්‍ඛු ආදීන් අතුරෙන් එක්එක් ධර්මයක් හටගන්නා ආකාරයෙන්ම විධාන කෙරෙති’යි, උසුලවති’යි ආදී අර්ත්‍ථ වශයෙන් ‘ධාතු’ යයි වහරනු ලැබේ.
තවද, තීර්ත්‍ථකයන් පවසන ආත්මය නම් සැබවින් විද්‍යමාන වූවක් නොවේ, මේ ධාතුහු එසේ නොව තමන්ගේ ස්වභාවය දරති’යි යන අරුතින්ම ‘ධාතු’ නම් වෙති. යම්සේ ලෝකයෙහි සිරියල් මනෝසිලා ආදී විසිතුරු ශෛල විශේෂඥයෝ ‘ධාතු’ යයි වහරනු ලැබෙත්ද, එසේම මේ ධාතූහුද, එම ධාතූන් සෙයින්ම ‘ධාතු’ නම් වෙති; නුවණින් දතයුතු විසිතුරු අවයව ඇත්තාහුද වෙති. නෙහොත්, යම්සේ ශරීරයයි වහරනු ලබන සමුදාය තුළ අවයව වූ එකිනෙකට විසදෘශ ලක්‍ෂණයෙන් පිරිපුන් රසධාතු, රුධිර ධාතු ආදියට ‘ධාතු’ යන සංඥාව වේද, එසේම පංචස්කන්‍ධයයි කියනු ලබන ආත්මභාවයට අයත් මේ (චක්‍ඛු ආදී) අවයවයන් කෙරෙහිද ‘ධාතු’ය යන නාමය දතයුතුය. මේ චක්‍ඛු ආදීහුද එකිනෙකට විසදෘශ ලක්‍ෂණයෙන් පිරිපුන් වූවාහුය. තවද ‘ධාතු’ යන මෙය හුදෙක් නිර්ජීව මාත්‍රයකට අධිවචනයි, ඒ එසේමැයි, භාග්‍යවතුන් වහන්සේ, “මහණ, ‘පුරිස’ යනු හුදෙක් ධාතු සයෙකින් සැදුණෙකි” (ඡධාතුකො අයං භික්‍ඛු පුරිසො)යි යන ආදී තන්හි, ජීව (ආත්ම) සංඥාව බැහැර කරනු පිණිස ධාතුදේශනය කළ සේක.
එසේ හෙයින් මෙකී අර්ත්‍ථයෙන්, “චක්‍ඛු වූයේද එම ධාතු වූයේද චක්‍ඛුධාතුයි -පෙ- මනෝවිඤ්ඤාණ වූයේද එම ධාතුවූයේද, මනෝවිඤ්ඤාණධාතුයි’ මෙසේ පළමු කොට මෙහි අරුත් වශයෙන් විනිශ්චයය දතයුතුය.
‘ලක්‍ඛණාදිතො’ යනු, චක්‍ඛු ආදීන් පිළිබඳ විනිශ්චයය ලක්‍ෂණාදී වශයෙන්ද දතයුතුය. ඔවුන් පිළිබඳ ලක්‍ෂණාදිය ඛන්‍ධ නිද්දේසයෙහි කී නයින්ම දතයුතුය.
‘කමතො’ යන මෙහිද පෙර කී උත්පත්ති ක්‍රමාදීන් පිළිබඳ දේශනා ක්‍රමයම යෙදේ. එම දේශනා ක්‍රමය මෙහි හේතු හා ඵල අනුපිළිවෙලට තැබීම් වශයෙන් කියනලදි - චක්‍ඛු ධාතු, රූපධාතු යන දෙක හේතුයි, චක්‍ඛු විඤ්ඤාණධාතු යනු, ඵලයයි, අන් සියලු තන්හිද මෙසේය.
තාවත්‍වතො යනුවෙන් අඩුවැඩි නැතිව මෙපමණෙකි’යි යන මෙය පවසන ලදි. ඒ ඒ සූත්‍ර අභිධර්ම පාඨයන්හි, ආභා ධාතුය, සුභාධාතුය, ආකාසානඤ්චාතන ධාතුය, විඤ්ඤාණඤ්චායතන ධාතුය, ආකිඤ්චඤ්ඤායතන ධාතුය, නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධාතුය, සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුය, කාම ධාතුය, ව්‍යාපාද ධාතුය, විහිංසා ධාතුය, නෙක්ඛම්ම ධාතුය, අව්‍යාපාදධාතුය, අවිහිංසා ධාතුය, සුඛධාතුය, දුක්ඛධාතුය, සෝමනස්ස ධාතුය, දෝමනස්ස ධාතුය, උපෙක්ඛා ධාතුය, අවිජ්ජා ධාතුය, ආරම්භ ධාතුය, නික්ඛමධාතුය, පරක්කම ධාතුය, හීන ධාතුය, මජ්ඣිම ධාතුය, පණිතධාතුය, පඨවීධාතුය, ආපෝ ධාතුය, තේජෝ ධාතුය, වායෝ ධාතුය, ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය, සඞ්ඛතධාතුය, අසඞ්ඛතධාතුය, අනේකධාතුය, නානාධාතුක ලෝකයයි යන මේ ආදී අන්‍යවූද ධාතූහු දක්නා ලැබෙති. මෙසේවූ කල්හි, සියලු ධාතූන් වශයෙන් පරිච්ඡේද නොකොට, ‘අටළොසෙකැ’යි යන මේ පරිච්ඡේදයම කරන ලද්දේ කවර හෙයින්ද යත් ස්වභාව (පරමාර්ත්‍ථ) වශයෙන් විද්‍යමාන වූ සියලු ධාතූන් මේ අටළොසටම ඇතුළත් වන හෙයිනි.
‘ආභාධාතු’ යනු රූපධාතුමැයි, ‘සුභාධාතු’ යනු- රූපාදිය හා සමගම බැදී පවතින්නකි. කවර හෙයින්ද යත් සුභ නිමිති සහිත වූ හෙයිනි, ‘සුභාධාතු’ යනු සුබය’යි ගනු ලබන නිමිතියි, එය රූපාදියෙන් තොරව විද්‍යාමාන නොවේ. නොහොත්, කුසල විපාක අරමුණු කොට ගත් රූපාදියම වේ. ‘ආකාසානඤ්චායතන-ධාතු’ යන ආදියෙහි වූ චිත්තය මනෝවිඤ්ඤාණධාතුම වේ. සෙසු (ආයතන) ධාතුහු ‘ධම්මධාතු’ම වෙති. ‘සඤ්ඤාවේදයිත නිරෝධ-ධාතු’ වනාහි ස්වභාව (පරමාර්ත්‍ථ) වශයෙන් අවිද්‍යමාන වේ. එය (මනෝ විඤ්ඤාණ-ධාතුය, ධම්මධාතුය යන) දෙකෙහි නිරෝධමාත්‍රය මැයි.
‘කාමධාතු’ යනු හුදෙක් ධම්මධාතුම වේ. කියන ලදමැයි:- “එහි ‘කාම ධාතු යනු කවරේද? කාමයන් හා සමග බැඳුණු තර්කයයි, විතර්කයයි, මිථ්‍යාසංකල්පයයි” යනුවෙන් අටළොස් ධාතූහුම හෝ එනම් වෙති. “යටින් අවීචිනිරයත් උඩින් පරනිර්මිත වශවර්ති දිව්‍යලෝකයත් යන මෙදෑතුරෙහි ඇතුළත්, මෙයට අයත්, ස්කන්‍ධ, ධාතු, ආයතන, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ සියල්ල ‘කාමධාතු’ යයි කියනු ලැබෙති’යි කී හෙයිනි.