පඤ්ඤාපභෙදකථා
පඤ්ඤාව කී වැදෑරුම්වේදයත්, ධර්මයන් පිළිබඳ යථාස්වභාව ප්රතිවේධ වශයෙන් එක් වැදෑරුම් වේ, ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙ-වැදෑරුම්වේ, එසේම සාශ්රව අනාශ්රවාදී වශයෙන්ද, නාම-රූප නිර්ණය වශයෙන්ද, සෝමනස්ස සහගත-උපේක්ෂා සහගත වශයෙන්ද, දස්සන භූමි, භාවනා භූමි වශයෙන්ද දෙවැදෑරුම් වේ. චින්තාමය, සූතමය, භාවනාමය වශයෙන් තෙවැදෑරුම් වේ, එසේම පරිත්තාරම්මණ මහග්ගතාරම්මණ, අප්පමාණාරම්මණ වශයෙන්ද, ආය (අභිවෘද්ධි), අපාය (අනභිවෘද්ධි), උපාය (ඒ ඒ ධර්මයන් පිළිබඳ නිෂ්පත්ති කාරණ) විෂයයෙහි කුශලතා වශයෙන්ද, අජ්ඣත්තාභිනිවේස, බහිද්ධාභිනිවේස, අජ්ඣත්තබහිද්ධාභිනිවේස වශයෙන්ද තෙවැදෑරුම් වේ. චතුඃසත්යයන් විෂයයෙහි වූ ඥාන වශයෙන්ද, චතුපටිසම්භිදා වශයෙන්ද සිවුවැදෑරුම් වේ.
එහි එක් වැදෑරුම් කොටසෙහි අර්ත්ථය පැහැදිලි වේ. දෙවැදෑරුම් කොටසෙහි: ලෞකික මාර්ගය හා බැඳුණු ප්රඥාව ලෞකිකයයිද, ලෝකෝත්තර මාර්ගය හා බැඳුණු ප්රඥාව ලෝකෝත්තරයයිද මෙසේ ලෞකික-ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වේ.
දෙවන ද්විකයෙහි: ආශ්රවයනට අරමුණු වූ ප්රඥාව සාශ්රවයයිද, ආශ්රවයනට අරමුණු නොවූයේ අනාශ්රවයයිද යනුවෙන් දෙවැදෑරුම් වේ. අර්ත්ථ වශයෙන් වනාහි මෙය ලෞකික-ලෝකෝත්තර ප්රඥාවම වේ. ආශ්රව සම්ප්රයුක්ත වූයේ සාශ්රව නම්ද, විප්රයුක්ත වූයේ අනාශ්රව නම්ද වේ යන මේ ආදියෙහිද මෙම නයයි. මෙසේ සාශ්රව-අනාශ්රව වශයෙන් දෙවැදෑරුම් වේ.
තුන්වන ද්විකයෙහි විදර්ශනා අරඹනු කැමැත්තහුගේ අරූපස්කන්ධ සතර පිළිබඳ ව්යවස්ථාපන වශයෙන් යම් ප්රඥාවක් වේද, මෙය නාම ව්යවස්ථාපන ප්රඥාවයි, රූපස්කන්ධය පිළිබඳ ව්යවස්ථාපන විෂයයෙහි යම් ප්රඥාවක් වේද, මෙය රූප ව්යවස්ථාපන ප්රඥාවයි. මෙසේ නාම-රූප ව්යවස්ථාපන වශයෙන් දෙවැදෑරුම් වේ.
සිවුවන ද්විකයෙහි: කාමාවචර කුසල් සිත් දෙකෙක්හිද, පඤ්චක නයයෙහි පළමු ධ්යාන සතර හා සමග යෙදුණු මාර්ග සිත් සොළොසෙහිද වූ ප්රඥාව සෝමනස්ස සහගත වේ. කාමාවචර කුසල් සිත් දෙකෙක්හිද පංචමධ්යානික මාර්ග සිත් සතරෙහිද වූ ප්රඥාව උපේක්ෂා සහගත වේ. මෙසේ සෝමනස්ස සහගත-උපේක්ෂා සහගත වශයෙන් දෙවැදෑරුම් වේ.
පස්වන ද්විකයෙහි ප්රථම මාර්ග ප්රඥාව දස්සන භූමි නමැයිද, සෙසු මාර්ග තුනෙහි වූ ප්රඥාව භාවනා භූමි නමැ’යිදැයි මෙසේ දස්සන භූමි - භාවනා භූමි වශයෙන් දෙවැදෑරුම් වේ.
ත්රිකයන් අතුරෙන් පළමුවන ත්රිකයෙහි: අනුන් වෙතින් නො-අසා ලද ප්රඥාව තමාගේම චින්තා වශයෙන් නිපන් හෙයින් ‘චින්තාමය’ නම් ද අනුන්ගෙන් අසා ලබා ගත් ප්රඥාව ශ්රැත වශයෙන් නිපන් හෙයින් ‘සුතමය’ නම්ද වේ; කවර ආකාරයෙන් හෝ අර්පණාවට පත් ප්රඥාව භාවනා වශයෙන් නිපන් හෙයින් භාවනාමය නම්වේ. කියන ලදමැයි:-
එහි ‘චින්තාමය පඤ්ඤා’ යනු කවරේද යත්: අභ්යාස කළ කර්මාන්තයන්හිදී හෝ අභ්යාස කළ ශිල්පායතනයන්හි දී හෝ අභ්යාස කළ විද්යාස්ථානයන්හිදී හෝ පලපුරුද්දෙන් ලත් යම් ඇත්දැකීමක් වේවයි, සත්යයට (යථා තත්ත්වයට) අනුලෝමික වන සේ රූපය අනිත්යය, වේදනාව පෙ- අනිත්යය-පෙ- සංඤ්ඤාව-පෙ- සංඛාරය -පෙ- විඤ්ඤාණය අනිත්යය, යන මේ ආකාර වූ යම් නැඹුරු බවක්, දැක්මක්, රිසි බවක්, මතයක්, අපේක්ෂාවක්, ස්වභාවය සිහිකරනු රිසිබවක් වේවයි, අනුන් වෙතින් නො-අසා ලබනුයේද, මෙය චින්තාමය ප්රඥාවයයි කියනු ලැබේ. අභ්යාසයෙහි යෙදුණු -පෙ- අනුන්ගෙන් අසා ලබනුයේද මෙය සුතමය ප්රඥාවයයි කියනු ලැබේ. සමවතට සමවන්නහුගේ සියලුම ප්රඥාව ‘භාවනාමය පඤ්ඤා’ නම් වේ.
මෙසේ චින්තාමය, සුතමය, භාවනාමය වශයෙන් තෙවැදෑරුම් වේ.
දෙවන ත්රිකයෙහි. කාමාවචර ධර්මයන් අරමුණු කොට පැවැති ප්රඥාව පරිත්තාරම්මණ වේ, රූපාවචර-අරූපාවචර ධර්මයන් අරමුණු කොට පැවැති ප්රඥාව මහද්ගතාරම්මණ වේ, මේ ලෞකික විදර්ශනාවයි. නිර්වාණය අරමුණු කොට ඇති ප්රඥාව අප්පමානාරම්මණ වේ, එය ලෝකෝත්තර විදර්ශනාවයි; මෙසේ පරිත්ත-මහග්ගත අප්පමානාරම්මණ වශයෙන් තෙවැදෑරුම් වේ.
තුන්වන ත්රිකයෙහි: ‘ආය’ නම් වෘද්ධියයි, එය අනර්ත්ථනාශ වශයෙන්ද අර්ත්ථජනන වශයෙන්දැයි දෙ-ආකාරයකින් සිද්ධ වේ. එහි කුශලතාව ‘ආයකෝසල්ල’ නම්වේ. කියන ලදමැයි:-
‘එහි ආයකොසල්ල යනු කවරේද? මේ ධර්මයන් මෙනෙහි කරන්නහුට නො-උපන් අකුසල් නො-උපදීද, උපන් අකුසල් ප්රහීණ වේද, තවද මේ ධර්මයන් මෙනෙහි කරන්නහුට නො-උපන් කුසල් උපදීද උපන් කුසල් බොහෝවීම, විපුල බව, වැඩීයාම, පිරිපුන් බව සිදුවේද, එම ධර්මයන් කෙරෙහි වූ යම් ප්රඥාවක්, දැනුවත් බවක් -පෙ- නොමුළා බවක්, දහම් සෙවීමක්, මැනවින් දැක්මක් වේද, මෙය ‘ආයකෝසල්ල’ යයි කියනු ලැබේ.”
‘අපාය’ යනු, අවෘද්ධියයි, එයද අර්ත්ථනාශ වශයෙන්ද, අනර්ත්ථජනන වශයෙන්දැයි දෙ-ආකාරයෙකින් සිදුවේ, එහි කුශලතාව ‘අපායකෝසල්ල’ නම්වේ; කියනලද මැයි:- “එහි අපාය කෝසල්ල යනු කවරේද? මේ ධර්මයන් මෙනෙහි කරන්නහුට නො-උපන් කුසල් නො උපදීද”, යන ආදියයි.
සියලු තන්හි ඒ ඒ ධර්මයන් පිළිබඳ උපාය වූ නිෂ්පත්ති කාරණ විෂයයෙහි එකෙණෙහි පවත්නා, එසේම ඒ ඒ කාරණයෙන් උපන් කුශලතාව ‘උපාය කෝසල්ල’ නම්වේ. කියන ලදමැයි: “ඒ ඒ කාරණා විෂයයෙහි උපන් සකලවිධවූම උපායරූපී ප්රඥාව ‘උපායකෝසල්ල’ නම් වේ” මෙසේ ආයකෝසල්ල-අපාය කෝසල්ල උපාය කෝසල්ල වශයෙන් තෙවැදෑරුම් වේ.
සිවුවන ත්රිකයෙහි: තමා පිළිබඳ ස්කන්ධයන් අරමුණු කොටගෙන ඇරඹි විදර්ශනා ප්රඥාව ‘අජ්ඣත්තාභිනිවේස නමි, අනුන් පිළිබඳ ස්කන්ධයන් හෝ බාහිර වූ අතීන්ද්රියබද්ධ රූපයන් අරමුණු කොටගෙන ඇරඹි විදර්ශනා ප්රඥාව ‘බහිද්ධාභිනිවේස’ නමි, (අජ්ඣත්ත-බහිද්ධා යන) දෙකම අරමුණු කොට ගෙන ඇරඹි විදර්ශනා ප්රඥාව ‘අජ්ඣත්ත බහිද්ධාභිනිවේස’ නමැයි මෙසේ අජ්ඣත්තාභිනිවේස ආදී වශයෙන් තෙවැදෑරුම් වේ.
චතුෂ්කයන් අතුරෙන් ප්රථම චතුෂ්කයෙහි, දුඃඛ සත්යය අරබයා පැවති ඥානය ‘දුක්ඛෙඤාණ’ නම්වේ, දුඃඛ සමුදය සත්යය අරබයා පැවති ඥානය ‘දුක්ඛ සමුදයෙඤාණ’ නම් වේ, දුක්ඛ නිරෝධය අරබයා පැවති ඥානය දුක්ඛ නිරෝධෙ ඤාණ’ නම්වේ, දුඃඛ නිරෝධය කරා පමුණුවන ප්රතිපත්තිය අරබයා පැවති ඥානය ‘දුක්ඛනිරොධගාමිනී පටිපදාය ඤාණ’ නමැයි මෙසේ චතුඃසත්යය පිළිබඳ ඥානය වශයෙන් සිවුවැදෑරුම් වේ.
දෙවන චතුෂ්කයෙහි චතුපටිසම්භිදා යනු, අත්ථ ආදි විෂයෙහි ප්රභේදයට පත් ඥාන සතරයි. කියනලදමැයි:-“අත්ථ විෂයයෙහි වූ ඥානය අත්ථපටිසම්භිදායි, ධම්ම විෂයයෙහි වූ ඥානය ධම්මපටිසම්භිදායි, අත්ථධම්ම දෙකෙහි නිරුක්තිය අනුව භාෂා ව්යවහාරයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදායි. ඤාණ විෂයයෙහි වූ ඥානය පටිභාණ පටිසම්භිදායි”