නන්දොපනන්දනාගදමනකථා
එක් සමයෙක්හි අනේපිඬු සිටු තෙමේ භාග්යවතුන් වහන්සේගෙන් දහම් අසා, ‘ස්වාමීනි, හෙට පන්සියයක් භික්ෂූන් හා සමග අපගේ ගෙහි භික්ෂාව පිළිගනු මැනවැ’යි ඇරියුම් කොට ගියේය. භාග්යවතුන් වහන්සේ ඇරියුම ඉවසා, එදවසින් ඉතිරි කාලයත් රාත්රි කාලයත් ඉක්මවා අළුයම් කාලයෙහි දසදහසක් ලෝකධාතුව බැලූ සේක, එවිට නන්දෝපනන්ද නම් නාරජු ඥානපථයට ආයේය. භාග්යවතුන් වහන්සේ, ‘මේ නාරජු මාගේ ඥානපථය හමුවට එයි, මොහුට උපනිශ්රය සම්පත් ඇත්දෝහෝ’යි ආවර්ජන කරන සේක්, ‘මේ තෙමේ මිසදිටුවෙකි, රත්නත්රය කෙරෙහි නොපහන්ය’යි දැක, ‘කවරෙක් නම් මොහු මිසදිටු බවින් මුදවාදැ’යි ආවර්ජන කරනසේක් මහමුගලන් තෙරුන් දුටුසේක.
ඉක්බිති රැය පහන්වූ කල්හි සිරුරු පිළිදැගුම් නිමවා ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක, ‘ආනන්දය, තථාගතයන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි යෙති, පන්සියයක් භික්ෂූන්හට සැල කරව’යි කීසේක. එදින නන්දෝපනන්ද නා රජුගේ ආපානභූමිය සරසන ලදි. හේ තෙමේ දිව්යමය සේසත් දරා ත්රිවිධ නාටක ජනයා විසින්ද නාපිරිස් විසින්ද පිරිවරන ලද්දේ දිව්යමය භාජනයන්හි එළවනු ලබන ආහාරපාන විශේෂයන් නරඹමින් දිව්යමය රත්නපර්යංකයෙක්හි හුන්නේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ නාරජුහට පෙනෙනසේ ඔහුගේ විමානය මත්තෙන් පන්සියයක් භික්ෂූන් ගෙන තව්තිසා දෙව්ලොව බලා වැඩිසේක.
එසමයෙහි නන්දෝපනන්ද නාරජුහට මෙවන් පවිටු සිතක් පහළ විණි. ‘මේ මුඬුමහණෝ අපගේ භවනය මත්තෙන් දෙවියන්ගේ තව්තිසා භවනයට යන්නාහුද එතැනින් නික්මෙන්නාහුද වෙති, දැන් මෙයින් මතු මොවුන්හට අපගේ හිස්මත පාදූවිලි හෙලමින් යන්නට නොදෙමි’යි මෙසේ සිතා නැඟිට මේරූ පර්වතමූලයට ගොස් තමාගේ ආත්මභාවය හැර මේරූ පර්වතය සත් වරක් දරණ වැලින් වසා මුදුනෙහි පෙණය තබාගෙන යටිකුරුව නමාගත් පෙණයෙන් තව්තිසා භවනය මුවහකොට නොපෙනෙන්නට සැලැස්වීය.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙසේ කීහ. ‘ස්වාමීනි, පෙර මේ පියසෙහි සිට මේරු පර්වතය අවට දක්නෙමි, තව්තිසා බවන දක්නෙමි, වෛජයන්ත ප්රාසාදය දක්නෙමි, වෛජයන්ත ප්රාසාද මස්තකයෙහි ධ්වජය දක්නෙමි, ස්වාමීනි, අද මේරු පර්වතය හෝ -පෙ- වෛජයන්ත ප්රාසාද - මස්තකයෙහි ධ්වජය හෝ නොපෙනීමට හේතු කිම?’ ‘රට්ඨපාලය, මේ නන්දෝපනන්දනාරජ තෙමේ ඔබ වෙත කිපී මේරූ පර්වතය සත්වරක් දරණින් වෙළාගෙන මුදුන පෙණයෙන් වසාගෙන අඳුරුකොට සිටියේය’යි කීසේක. ‘ස්වාමීනි. ඔහු දමනය කරමි’යි කීවිට භාග්යවතුන් වහන්සේ එය නො-අනුදත්සේක. ඉක්බිති ආයුෂ්මත් භද්දිය තෙරණුවෝද, ආයුෂ්මත් රාහුල තෙරණුවෝදැයි සියලු භික්ෂූහු පිළිවෙළින් ඉදිරිපත් වූහ, භාග්යවතුන් වහන්සේ නොඅනුදත් සේක.
අවසන්හි මහමුගලන් තෙරණුවෝ, ‘ස්වාමීනි, මම ඔහු දමනය කෙරෙමි’යි කීහ, ‘මොග්ගල්ලානය, දමනය කරනු යැ’යි අනුදත්සේක. තෙරණුවෝ ආත්මභාවය හැර මහනාරජ වෙසක් මවාගෙන නන්දෝපනන්ද නාරජු තුදුස් වරක් දරණින් වෙළාගෙන ඔහුගේ පෙණය මත්තෙහි තමාගේ පෙණය තබාගෙන මේරු පර්වතයට තද කළහ. නාරජ තෙමේ දුමන්නට විය, තෙරණුවෝද, ‘දුම් ඇත්තේ තොපගේ සිරුරෙහි මතුනොවේ, අපගේ සිරුරෙහිද ඇත්තේය’යි දුමන්නට වූහ. නාරජුගේ දුම් තෙරුන් නොපෙළයි, තෙරුන්ගේ දුම් නාරජු පෙළයි. ඉක්බිති නාරජ තෙමේ දැල්වෙන්නට විය. තෙරණුවෝද, ‘ගිනි ඇත්තේ තොපගේ සිරුරෙහි මතු නොවේ, අපගේ සිරුරෙහිද ඇතැ’යි දැල්වෙන්නට වූහ. නාරජුගේ තේජස තෙරුන් නොපෙළයි, තෙරුන්ගේ තේජස නාරජු පෙළයි. නාරජ, ‘මේ තෙමේ මා මේරු පර්වතයට තබා තදකොට දුමන්නේද, දැල්වෙන්නේද වේ’යි සිතා. ‘පින්වත, ඔබ කවුරුදැ?’යි පිළිවිසීය. ‘නන්දය, මම මොග්ගල්ලාන වෙමි’යි කීහ. ‘ස්වාමීනි, ඔබගේ භික්ෂුවේශයෙන් සිටිනු මැනවැ’යි කීය.