දසඉද්ධිකථා
ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති යනු, මෙහි සමෘද්ධ වෙතැ’යි යන අර්ත්‍ථයෙන් ඉද්ධි නමි, ‘කාර්යනිෂ්පත්ති’ යන අර්ත්‍ථයෙන් හෝ ‘ප්‍රතිලාභ’ යන අර්ත්‍ථයෙන් හෝ එනම් වෙතැ’යි කී නියායි. යමක් සාධනය කරගනු ලැබේද, අයත් කරගනු ලැබේද, එය සමෘද්ධ වෙති’යි කියනු ලැබේ. යම්සේ කියන ලදද, - ‘කාමං කාමයමානස්ස තස්ස චෙතං සමිජ්ඣති’ කාමය කැමැති වන ඔහුට එය සමෘද්ධ වේ නමි. මේ ආකාරයෙන්ම නෛෂ්ක්‍රම්‍යය (කැමැති වන්නහුට) සමෘද්ධ වෙති’යි ඉද්ධි නමි. මුල් රූපය හැර වෙනත් රූප ගනිති’යි ‘පාටිහාරිය’ නමි, අර්හත් මාර්ගය සඵල වෙති’යි ඉද්ධි නමි. මුල් රූපය හැර වෙනත් වෙනත් රූප ගනිති’යි පාටිහාරිය නමි.
තවද ක්‍රමයෙකි:- සමෘද්ධ වෙති’යි යන අර්ත්‍ථයෙන් ‘ඉද්ධි’ නමි, උපාය සම්පත්තියට මෙය අධිවචනයෙකි. උපාය සම්පත්තිය වනාහි අභිප්‍රේත ඵලය උපදවන හෙයිනි. යම්සේ කියන ලදමැයි:- ‘මේ චිත්ත ගෘහපති තෙමේ සිල්වත්ය, යහපත් ගුණධර්ම ඇත්තේය, ඉදින් ප්‍රාර්ත්‍ථනා කෙරේනම් මතු අනාගතයෙහි සක්විති රජ වන්නේය, සිල්වත් වූ ඔහුට වනාහි ප්‍රාර්ත්‍ථනා චිත්තයෙහි පිරිසුදු බව හේතුකොටගෙන මෙය සමෘද්ධ වන්නේය’
තවද ක්‍රමයෙකි:- මෙය හේතුකොටගෙන සත්ත්‍වයෝ සමෘද්ධ වෙති’යි ‘ඉද්ධි’ නමි, සමෘද්ධ වෙති’යි යනු සමෘද්ධභාවයට යෙති’යි වෘද්ධියට පත් වෙති’යි උසස්බවට යෙති’යි කී නියායි. එම සෘද්ධිය දශ ආකාර වේ, කියන ලදමැයි:- ‘ඉද්ධියො’ යනු දශ ඍද්ධියයි, යලිදු කියන ලදමැයි: දශඍද්ධි නම් කවරේද? අධිෂ්ඨාන ඍද්ධිය, විකුර්වන ඍද්ධිය, මනෝමය ඍද්ධිය, ඥානවිෂ්ඵාර ඍද්ධිය, සමාධිවිෂ්ඵාර ඍද්ධිය, ආර්ය සෘද්ධිය, කර්මවිපාකජ ඍද්ධිය, පුණ්‍යවන්තයන්ගේ සෘද්ධිය, විද්‍යාමය සෘද්ධිය, ඒ ඒ තන්හි මනාකොට යෙදීමේ හේතුවෙන් සමෘද්ධ වීමේ සෘද්ධිය යන මේය.
එහි ස්වභාව වශයෙන් එක්ම පුද්ගලයෙක් වූයේ බොහෝ දෙනෙකු ලෙසින්, සියක් දෙනකු, දහසක් දෙනකු, සුවහසක් දෙනකු සෙයින් ආවර්ජනය කරයි, එසේ ආවර්ජනය කොට “බොහෝ දෙනකු බවට පත් වෙමි”යි ඥානයෙන් අධිෂ්ඨාන කරයි, මෙසේ විග්‍රහ කොට දක්වන ලද සෘද්ධිය අධිෂ්ඨාන වශයෙන් නිපන් හෙයින් අධිට්ඨානඉද්ධි නම් වේ.
“හේ තෙමේ ප්‍රකෘති වේශය හැර කුමාර වේශය දක්වයි. නාග වේශය හෝ -පෙ- විවිධ වූ සේනා ව්‍යුහය දක්වයි” යන ආදී වශයෙන් මෙසේ ඍද්ධිය ප්‍රකෘති වේශය හැර අන්‍යවේශයන් ගැනීම් වශයෙන් පවත්වන ලද හෙයින් විකුර්වන සෘද්ධි නම් වේ.
“මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ මේ කය කෙරෙන් මනෝමය රූප ඇති අන් කයක් නිර්මාණය කරයි.” යන ආදී වශයෙන් ආ සෘද්ධිය ශරීරාභ්‍යන්තරයෙහි මනෝමය වූ අනෙක් ශරීරයක් නිපදවීම් වශයෙන් පවත්වන ලද හෙයින් මනොමයඉද්ධි නම් වේ.
විදර්ශනා ඥානයට පෙර හෝ පසුව හෝ එක් කෙණෙහි මාර්ගඥානානුභාවය හේතුකොටගෙන උපන් ඍද්ධි විශේෂය ඤාණ විප්ඵාර ඉද්ධි නම් වේ. කියන ලදමැයි:- “අනිත්‍යය මෙනෙහි කිරීමෙන් නිත්‍ය සංඥාව ප්‍රහීණ කිරීමේ කාර්යය සිද්ධ වෙති’යි ඤාණවිප්ඵාර ඉද්ධි නමි, -පෙ- අර්හත් මාර්ගයෙන් සකල ක්ලේශයන් ප්‍රහීණ කිරීමේ කාර්යය සිද්ධ වෙති’යි ඤාණවිප්ඵාර ඉද්ධි නමි.” ආයුෂ්මත් බක්කුල තෙරුන්හට ඤාණවිප්ඵාර නම් ඍද්ධිය විය, ආයුෂ්මත් සංකිච්ච තෙරුන්හට ඤාණවිප්ඵාර නම් ඍද්ධිය විය. ආයුෂ්මත් භූතපාල තෙරුන්හටද ඤාණවිප්ඵාර නම් ඍද්ධිය විය.
එහි ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ පෙර ළදරු කල්හිම නාමකරණ මඟුල් දිනයෙහි ගඟෙහි නහවනු ලබද්දී කිරි මවගේ ප්‍රමාදයෙන් සැඬ පහරට වැටුණාහුය, එක්තරා මත්ස්‍යයෙක් ළදරුවා ගිල බරණැස් තොටුපලට පැමිණියේය. එහිදී එක්තරා ධීවරයෙක් එම මත්ස්‍යයා අල්වාගෙන එක්තරා සිටු බිරියක්හට විකිණීය. ඕ තොමේ මත්ස්‍යයා කෙරෙහි ඇලුම් උපදවා “මම්ම මත්ස්‍යයා පිසන්නෙමි”යි ගෙන කපන විට මත්ස්‍යයාගේ කුස තුළ සිටි රන්රුවක් වන් දරුවා දැක, ‘මට පුතකු ලැබුණහ’යි සොම්නස් වූහ. මෙසේ මත්ස්‍යයාගේ කුසෙහිදී උපද්‍රවයක් නොවීම අන්තිම ආත්මභාවයෙහි සිටි බක්කුල ආයුෂ්මතුන්හට එම ආත්මභාවයෙහි ලැබෙන්නට තිබුණ අර්හත් මාර්ගඥානයෙහි ආනුභාව බලයෙන් සිදු වූ හෙයින් ඤාණවිප්ඵාර ඉද්ධි නම් වේ. මෙම කථා වස්තුව විස්තර වශයෙන් කියනු වටී.
සංකිච්ච තෙරුන්ගේ වනාහි මව් තොමෝ ඔවුන් කුස තුළ සිටියදීම කලුරිය කළාය. ඇය චිතකයට නංවා හුලින් ඇන දවනු ලබන කල්හි හුල කෙළවර ඇස් කොන්හි වැදී හඬ නැඟූහ. ඉක්බිති ‘ළදරුවාට පණ ඇතැ’යි මළ සිරුර බිමට ගෙන කුස පලා ළදරුවා ගෙන මිත්තණියට දුන්හ. ඔහු තුමූ ඇය විසින් හදා වඩා ගන්නා ලදුව වැඩිවියට පැමිණ පැවිදිව සිවුපිළිසිඹියා සහිත රහත් බවට පත්වූහ. මෙසේ කී ලෙසින්ම සංකිච්ච ආයුෂ්මතුන්හට දරසෑ මත උපද්‍රවයක් නොවීම ඤාණවිප්ඵාර ඉද්ධි නම් වේ.
භූතපාල නම් දරුවාගේ පියා රජගහ නුවර සිටි දිළිඳු මිනිසෙකි. හේ තෙමේ ගැලක් ගෙන දර පිණිස වනයට ගොස් දර පටවාගෙන සවස්කල නුවර දොරටුව අසලට පැමිණියේය. එහිදී ඔහුගේ ගොන්නු වියෙන් මිදී නුවරට පිවිසියාහුය. හේ තෙමේ ගැල සමීපයෙහි පුතු සිටුවා ගොනුන් පසුපස යන්නේ නුවරටම පිවිසියේය. ඔහු පෙරළා නික්මෙන්නට පෙරම නුවර දොරටුව වසන ලද්දේය. ව්‍යාල මෘගයන් යක්‍ෂාදීන්ගෙන් ගහන පිටුසරෙහි තුන්යම් රැය සිටි දරුවාට උවදුරක් නොවීම කී නයින්ම ඤාණවිප්ඵාර ඉද්ධි නම් වේ. මෙම කථා වස්තුවද විස්තර කරනු වටී.
සමාධියට පෙර හෝ පසුව හෝ එක් කෙණෙහි හෝ එම සමාධියෙහි ආනුභාවයෙන් නිපන් ඍද්ධිවිශේෂය සමාධිවිප්ඵාර ඉද්ධි නම් වේ. කියන ලදමැයි:- ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ප්‍රහාණකාර්යය සිද්ධ වෙති’යි සමාධිවිප්ඵාර ඉද්ධි නමි, -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙහි ප්‍රහාණකාර්යය සිද්ධ වෙති’යි සමාධි විප්ඵාර නම් ඍද්ධිය විය. ආයුෂ්මත් සංජීව තෙරුන්හටද, ආයුෂ්මත් ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන්හටද, උත්තරා නම් උපාසිකාවටද, සාමාවතී නම් උපාසිකාවටද සමාධිවිප්ඵාර නම් ඍද්ධිය විය.
එහි, එක් කලෙක කපෝතකන්‍දරාවෙහි, මුගලන් තෙරුන් සමග වෙසෙන සැරියුත් තෙරුන් සඳ පහන් ඇති රාත්‍රියෙක්හි අලුත බූගෑ හිසින් අභ්‍යවකාශයෙක්හි හුන් විට, එක්තරා දුෂ්ට යක්‍ෂයෙක් සහායක යක්‍ෂයා විසින් වලකනු ලබනුයේම, හිසට පහරක් දුන්නේය. අකුණු හඬක් වැනි හඬක් විය. තෙරණුවෝ ඔහු පහර දෙනුවා හාම සමවතට සමවන්හ, එහෙයින් තෙරුන්හට එයින් කිසි වෙහෙසක් නොවීය. මේ ඔවුන්ගේ සමාධිවිප්ඵාර නම් ඍද්ධියයි. මේ කථාවස්තුව උදානයෙහි ආයේය.