අභිඤ්ඤාකථා
ඉක්බිති යම් ලෞකික අභිඥාවන් පිළිබඳව ‘මේ සමාධිභාවනාව අභිඥාවන් ආනිශංසකොට ඇත්තේය’යි කියන ලද්දේද, එම අභිඥාවන් නිපදවීම පිණිස පඨවීකසිණ ආදියෙහිදී, ලබාගන්නාලද චතුර්ත්ථධ්යානයෙන් යුක්තවූ යෝගාවචරයා විසින් භාවනානුයෝගය කළයුතු වන්නේය. තවද මෙසේ ඒ යෝගාවචරයාගේ එම සමාධිභාවනාව ලබාගන්නා ලද ආනිශංස ඇත්තේ පමණක් නොව ඉතා තිරතරද වන්නේය, ලබාගන්නා ලද ආනිශංස ඇති ඉතා තහවුරු වූ සමාධිභාවනාවෙන් සමන්විත වූ ඒ යෝගාවචර තෙමේ පහසුවෙන්ම පඤ්ඤාභාවනාව (විදර්ශනා භාවනාව) සම්පාදනය කරන්නේය, එහෙයින් පළමුකොට අභිඥාවන් පිළිබඳ විස්තර කථාව ආරම්භ කරන්නෙමු.
භාග්යවතුන් වහන්සේ විසින් වනාහි ලබාගන්නා ලද චතුර්ත්ථධ්යාන සමාධි ඇති කුලපුත්රයනට සමාධි භාවනාවෙහි අනුසස් දක්වනු පිණිසද, මතුමත්තෙහි වඩ වඩා ප්රණීත වූ ධර්මයන් දේශනා කරනු පිණිසද, “මෙසේ සිත සමාධිගතව (සමාහිතෙ) පිරිසිදුව (පරිසුද්ධෙ) නිර්මලව (පරියොදාතෙ) කෙලෙස් රහිතව (අනඞ්ගණෙ) උපක්ලේශයන්ගෙන් තොරව (විගතූපක්කිලෙසෙ) මෘදුව (මුදුභූතෙ) කර්මයෝග්යව (කම්මනියෙ) සිටි කල්හි, අකම්ප්යභාවයට පත් වූ කල්හි (ආනෙඤ්ජප්පත්තෙ) ඒ යෝගාවචර තෙමේ ඉද්ධිවිධඤාණය පිණිස සිත මෙහෙයවයි, නැඹුරු කරවයි. හේ තෙමේ අනේකවිධ වූ සෘද්ධිවිශේෂයන් අනුභව කරයි, [missing trans]
එක් පුද්ගලයෙක්වම බොහෝ පුද්ගලයන් සෙයින් දිස්වෙයි” (එකොපි හුත්වා බහුධා හොති)” යන ආදී වශයෙන් සෘද්ධිමය ක්රියාවන් කරනු කැමැති ආධුනික යෝගාවචරයා විසින් පළමු කොට ඕදාතකසිණය තෙක් වූ කසිණ අටෙහි සමවත් අටක් අටක් නිපදවීමෙන් -
කසිණානුලෝම වශයෙන්ද, එසේම කසිණපටිලෝම වශයෙන්ද, කසිණානුලොමපටිලෝම වශයෙන්ද, ඣානානුලෝම වශයෙන්ද, ඣානපටිලෝම වශයෙන්ද, ඣානුලෝමපටිලෝම වශයෙන්ද, ඣානුක්කන්තික වශයෙන්ද, කසිණූක්කන්තික වශයෙන්ද, ඣානකසිණුක්කන්තික වශයෙන්ද, අඞ්ගසංකන්ති වශයෙන්ද, ආරම්මණසංකන්ති වශයෙන්ද, අඞ්ගාරම්මණසංකන්ති වශයෙන්ද, අඞ්ගවවත්ථාපන වශයෙන්ද, ආරම්මණවවත්ථාපන වශයෙන්දැයි යන -
මේ තුදුස් ආකාරයෙන් සිත මැනවින් දමනය කළයුතුය.
මෙහි කසිණානුලොම යනු කිමෙක්ද? -පෙ ආරම්මණවවත්ථාපන යනු කිමෙක්ද යත්:- මෙහි භික්ෂු තෙමේ පඨවිකසිණයෙහි ධ්යානයට සමවදියි, ඉක්බිති ආපෝකසිණයෙහිදැයි මෙසේ පිළිවෙළින් මුල් කසිණ අටෙහි සියක්වර දහසක්වර සමවදියි. මේ කසිණානුලෝම නමි.
එසේම ඕදාතකසිණයෙහි පටන් ප්රතිලෝම වශයෙන් (අග සිට මුලට) සමවැදීම කසිණපටිලොම නමි.
පඨවිකසිණයෙහි පටන් (මුල සිට අගට) ඕදාතකසිණය තෙක්ද, ඕදාතකසිණයෙහි පටන් (අග සිට මුලට) පඨවි කසිණය තෙක්දැයි මෙසේ අනුලෝම ප්රතිලෝම වශයෙන් නැවත නැවතත් සමවැදීම ‘කසිණානුලොම-පටිලොම’ නමි.
ප්රථමධ්යානයෙහි පටන් පිළිවෙළින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය තෙක් නැවත නැවතත් සමවැදීම ඣානානුලෝම නමි.
නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පටන් ප්රථම ධ්යානය තෙක් නැවත නැවතත් සමවැදීම ඣානපටිලෝම නමි.
ප්රථමධ්යානයෙහි පටන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය තෙක්ද නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පටන් ප්රථමධ්යානය තෙක්දැයි මෙසේ අනුලෝම ප්රතිලෝම වශයෙන් නැවත නැවතත් සමවැදීම ඣානානුලොමපටිලොම නමි.
පඨවිකසිණයෙහි ප්රථම ධ්යානයට සමවැද එම කසිණයෙහිම තෘතීයධ්යානයට සමවදියි, ඉක්බිති එම ධ්යානය උගුළුවා ආකාසානඤ්චායතනයටද, ඉක්බිති ආකිඤ්චඤ්ඤායතනයටදැයි මෙසේ කසිණය නොඉක්මවා ධ්යානයම ඒකාන්තරික වශයෙන් (එකක් හැර එකක්) පැන යාම ඣානුක්කන්තික නමි. මේ ආකාරයෙන්ම ආපෝකසිණාදිය මුල් කොටද, යෝජනා කටයුතුය.
පඨවි කසිණයෙහි ප්රථමධ්යානයට සමවැද නැවත එම ධ්යානයටම තේජෝකසිණයෙහිද, ඉක්බිති නීලකසිණයෙහිද, ඉක්බිති ලෝහිතකසිණයෙහිදැයි යන මේ නයින් ධ්යානය නො-ඉක්මවා කසිණයම ඒකාන්තරික වශයෙන් පැන යාම කසිණුක්කන්තික නමි.
පඨවි කසිණයෙහි ප්රථම ධ්යානයට සමවැද ඉක්බිති තේජෝ කසිණයෙහි තෘතීයධ්යානයටද නීලකසිණය උගුළුවා ආකාසානඤ්චායතනයටද, ලෝහිතකසිණයෙන් ආකිඤ්චඤ්ඤායතනයටදැයි යන මේ නයින් ධ්යානයද කසිණයද උලැඟීම ‘ඣානකසිණුක්කන්තික’ නමි.
පඨවීකසිණයෙහි ප්රථම ධ්යානයට සමවැද එම කසිණයෙහිම සෙසු ධ්යානයටද සමවැදීම ‘අංගසංකන්තික’ නමි
පඨවීකසිණයෙහි ප්රථම ධ්යානයට සමවැද එයටම ආපෝකසිණයෙහිද -පෙ- ඕදාත කසිණයෙහිදැයි මෙසේ සියලු කසිණයන්හි එක්ම ධ්යානයට සමවැදීම ‘ආරම්මණසංකන්තික’ නමි.
පඨවීකසිණයෙහි ප්රථම ධ්යානයට සමවැද, ආපෝකසිණයෙහි ද්විතීය ධ්යානයටද තේජෝකසිණයෙහි තෘතීය ධ්යානයටද, වායෝකසිණයෙහි චතුර්ත්ථධ්යානයටද, නීලකසිණය උගුළුවා ආකාසානඤ්චායතනයටද, පීතකසිණයෙහි විඤ්ඤානඤ්ඤායතනයටද, ලෝහිතකසිණයෙහි ආකිඤ්චඤ්ඤායතනටද, ඕදාත කසිණයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයටදැ’යි මෙසේ ඒකාන්තරික වශයෙන් අංගයෙන් ආරම්මණයට සංක්රමණය වීම අංගාරම්මණසංකන්තික නමි.
ප්රථමධ්යානය වනාහි පංචඞ්ගික (අංග පසක් ඇත්තේ) යයි ව්යවස්ථාපනය කොට, ද්විතීයධ්යානය තිවඞ්ගික (අංග තුනක් ඇත්තේ) ය, තෘතීයධ්යානය දුවඞ්ගික (අංග දෙකක් ඇත්තේ) ය, චතුර්ත්ථධ්යානයද, ආකාසානඤ්චායතනයද -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතනයද එසේම (ද්ව්යංගික) යයි මේ ආකාරයෙන් ධ්යානාංග මාත්රයම ව්යවස්ථාපනය කිරීම අංගවවත්ථාපන නමි.
එසේ මේ පඨවිකසිණයයි ව්යවස්ථාපනය කොට, මේ ආපෝකසිණය, -පෙ- මේ ඕදාත කසිණයයි මෙසේ ආරම්මණමාත්රයම ව්යවස්ථාපනය කිරීම ආරම්මණවවත්ථාපන නමි. ඇතැමෙක් අංගාරම්මණවවත්ථාපනයද කැමැති වෙති, අටුවාහි නො-ආ හෙයින් ඒකාන්තයෙන් එය භාවනාමුඛයක් නොවේමය.