චතුධාතුවවත්ථාන භාවනාව
ආහාරෙ පටික්කූලසඤ්ඤා භාවනාවට අනතුරුව ‘එකං වවත්ථානං’ යනුවෙන් මෙසේ දක්වනලද චතුධාතුවවත්ථානය පිළිබඳ වූ භාවනා නිර්දේශය පිළිවෙළින් පැමිණියේය. එහි ‘වවත්ථානං’ යනු, ස්වභාව උපලක්ෂණ වශයෙන් සනිටුහන් කිරීමයි, සිවු ධාතුන්ගේ වවත්ථානය “චතුධාතුවවත්ථාන’ නමි. ‘ධාතුමනසිකාර’, ‘ධාතුකම්මට්ඨාන’, ‘චතුධාතුවවත්ථාන’ යන තුනම අර්ත්ථ වශයෙන් එකෙකි. ඒ මේ චතුධාතුවවත්ථානය සංක්ෂෙප වශයෙන්ද විස්තර වශයෙන්දැ’යි දෙපරිද්දෙකින් ආයේය. මහාසතිපට්ඨාන සූත්රයෙහි සංක්ෂෙප වශයෙන්ද, මහාහත්ථිපදොපම, රාහුලෝවාද සූත්රයන්හි හා ධාතුවිභංගයෙහි විස්තර වශයෙන්ද ආයේය. එය වනාහි,
“මහණෙනි යම්සේ දක්ෂ වූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකන්තෙවාසිකයෙක් හෝ ගවදෙනක මරා සිවුමංසලෙක කොටස් වශයෙන් වෙන්කොට හුන්නේ වේද, එසේම මහණෙනි, භික්ෂු තෙමේ මෙම කය සිටි සැටියෙන්ම පිහිටි සැටියෙන්ම ගෙන ධාතු වශයෙන් මෙනෙහි කෙරේ. මේ කයෙහි පෘථිවිධාතුව ඇත. ආපොධාතුව ඇත, තෙජොධාතුව ඇත, වායොධාතුවද ඇතැ”යි
මෙසේ තීක්ෂණ ප්රඥා ඇති ධාතුකර්මස්ථානිකයාගේ වශයෙන් මහාසතිපට්ඨාන සූත්රයෙහි සංක්ෂෙප වශයෙන් ආයේය.
එහි අර්ත්ථය මෙසේයි: යම්සේ දක්ෂ වූ ගවඝාතකයෙක් හෝ ඔහුගේම බත් වැටුප් ලබන අතවැස්සෙක් හෝ දෙනක මරා කඩ කඩ කොට කපා, සිවු දිගට විහිදුණු මහ මඟෙහි මධ්යස්ථානයයි කියනු ලබන සිවුමංසලෙහි තබා කොටස් කොට හුන්නේ වේද, එසේම භික්ෂු තෙමේ සිවු ඉරියවු අතුරෙන් කිසියම් ඉරියව්වෙකින් සිටි හෙයින් ‘යථාඨිත’ වූ, ‘යථාඨිත’ වූ හෙයින්ම ‘යථාපණිහිත’ වූ කය, ‘මේ කය තුළ පඨවිධාතුව -පෙ-වායොධාතුවද ඇතැ’යි මෙසේ ධාතු වශයෙන් මෙනෙහි කරයි.
කුමක් කී-නියාද යත්: යම්සේ ගවඝාතකයා දෙන පෝෂණය කරනවිට හෝ, ඝාතන ස්ථානයට ගෙන එනවිට හෝ, ගෙනවුත් එහි බැඳ සිටිනවිට හෝ, ඝාතනය කරනවිට හෝ, ඝාතනය කොට මළ දෙන දෙස බලනවිට හෝ, එම ගවදෙන කපා කොටස් කොට බෙදනතුරු එම ගවඝාතකයාහට ගවදෙනකැ’යි යන හැඟීම නොමැකේ. කොටස් කොට බෙදා හුන්විට වනාහි දෙනකැ’යි යන හැඟීම මැකී ගොස් මස්’ය යන හැඟීම පහළ වේ. කඩ කඩ කොට බෙදීමෙන් පසු ඔහුට “මම දෙන විකුණමි, මොවුහු දෙන ගෙනයති”යි යන හැඟීම ඇති නොවේ, එවිට “මම මස් විකුණමි, මොවුහු මස් ගෙනයති”යි යන හැඟීමම ඇතිවේ. එසේම මේ මහණහටද, පෙර අඥානවූ පෘථග්ජන අවධියෙහිදී ගිහියකු වශයෙන් වේවා, පැවිද්දකු වශයෙන් වේවා, යම්තාක් සමූහ වශයෙන් ඝනව (එක්රැස්ව) සිටි මේ කය සිටි ලෙසින්ම, පිහිටි ලෙසින්ම ගෙන මෙනෙහි කෙරේද, ධාතු වශයෙන් විග්රහකොට මෙනෙහි නොකෙරේද, ඒතාක් ‘සතෙකි’යි හෝ ‘පුරුෂයෙකි’යි හෝ ‘පුද්ගලයෙකි’යි යන හැඟීම නොමැකේ. ධාතු වශයෙන් මෙනෙහි කරනවිට වනාහි ‘සතෙකි’යි යන හැඟීම නැතිවේ, ධාතුවශයෙන්ම සිත පිහිටයි. එහෙයින් වදාළහ භාග්යවතුන් වහන්සේ: මහණෙනි, යම්සේ දක්ෂ වූ ගවඝාතකයෙක් හෝ-පෙ- හුන්නේ වේද, එසේම මහණෙනි, භික්ෂු තෙමේ-පෙ- වායොධාතුයයි ගනී.”
මහාහත්ථිපදොපම සූත්රයෙහි වනාහි, “ඇවැත්නි, අජ්ඣත්තික පඨවිධාතු නම් කවරේද? යම් ධාතු කොටසක් තමා තුළම වූයේද, තමා කෙරෙහිම වූයේද, රළු වූයේද, පරුෂ වූයේද, තමාගේ යයි ගන්නා ලද්දේ ද, කවර නම් ධාතු කොටසක්ද යත්: කෙස්ය, ලොම්ය, නියය, දත්ය-පෙ-නොපැසුණු අහරය, පැසුණු අහරය යන ආදිය හෝ අන් කිසියම් හෝ ධාතු කොටසක් තමා තුළ වේද, තමා කෙරෙහිම වේද, රළුවේද, දැඩිවේද, තමාගේ’යයි ගන්නා ලද්දේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික පඨවීධාතුයයි කියනු ලැබේ.
අජ්ඣත්තික ආපොධාතු නම් කවරේද? තමා තුළ වූ තමා කෙරෙහිම වූ යම් ධාතු කොටසක් දියර වූයේද, දියරබවට ගියේද, තමාගේයයි ගන්නා ලද්දේ ද, කවර නම් ධාතු කොටසක්ද යත්, පිත්ය -පෙ-මූත්රය යන ආදිය හෝ අන් කිසි හෝ යම් ධාතු කොටසක් තමා වෙත වේද, තමාගේයයි ගන්නා ලද්දේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික ආපොධාතුයයි කියනු ලැබේ.
ඇවැත්නි අජ්ඣත්තික තේජෝධාතු නම් කවරේද? යම් ධාතු කොටසක් තමා වෙතම වූයේද, තමා උදෙසාම වූයේද, තාප’යයි, තාප ගුණ’යයි ගන්නා ලද්දේ ද, කවර නම් ධාතු කොටසක්ද යත්, යමක් හේතුකොටගෙන තවනු ලැබේද, දිරාපත් වේද, යමක් හේතුකොටගෙන පරිදාහ ඇතිවේද, යමක් හේතුකොටගෙනම බුදිනලද බොනලද කනලද, උරනලද ආහාර මනාකොට පරිපාකයට යේද, අන්කිසි හෝ යම් ධාතු කොටසක් තමා කෙරෙහි වූයේද, තමා උදෙසා වූයේද, තාපය’යි තාපගුණය’යි ගන්නා ලද්දේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික තෙජොධාතුයයි කියනු ලැබේ,
ඇවැත්නි, අජ්ඣත්තික වායොධාතු නම් කවරේද? යම්ධාතු කොටසක් තමා වෙත වූයේද, තමා උදෙසා වූයේද, වායුයයි වායුගුණයයි ගන්නා ලද්දේ ද, කවර නම් වායුවක්ද යත්, උඩු අතට යන වාතය, යටි අතට යන වාතය, කුස තුළ පවත්නා වාතය, අතුණුවල පවත්නා වාතය, අඟපසඟ පුරා සැරිසරන වාතය, ආශ්වාස වාතය, ප්රශ්වාස වාතය යන මේ ධාතු කොටස් හෝ, අන් කිසි හෝ යම් ධාතු කොටසක් තමා වෙත වූයේද, තමා උදෙසා වූයේද, තමාගේයයි ගන්නා ලද්දේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික වායොධාතුය’යි කියනු ලැබේ.”
මෙසේ ඉතා තියුණු නොවූ ප්රඥා ඇති ධාතු කර්මස්ථානිකයාගේ වශයෙන් සවිස්තරව ආයේය. මෙහි යම්සේද, රාහුලොවාද සූත්ර, ධාතුවිභංග යන දෙක්හිද එසේමය.
එහි අප්රකට පද වර්ණනාව, මෙසේයි: අජ්ඣත්තං පච්චත්තං යනු මේ පද දෙකම ‘නියක’ හෙවත් තමා පිළිබඳවූ දෙයට අධිවචනයි. නියකං යනු, “තමා කෙරෙහි හටගත්තේය, ස්වසන්තානයෙහි අන්තර්ගත වූයේයි” යන අර්ත්ථයි. ඒ මේ ‘නියකය’, යම්සේ ලෝකයෙහි ස්ත්රීන් පිළිබඳ කථා ‘අධිත්ථි’යයි කියනු ලැබේද, එසේම තමා කෙරෙහි පැවැති හෙයින් ‘අජ්ඣත්ත’ නමි. තමා උදෙසා පැවති හෙයින් ‘පච්චත්ත’ යයි කියනු ලැබේ. කක්ඛලං යනු කැකුලුය හෙවත් දැඩිය. ඛරිගතං යනු, රළුය, එහි පළමුවැන්න ලක්ෂණය හඟවන වචනයි, දෙවැන්න ආකාරය හඟවන වචනයි. පඨවිධාතුව දැඩි ස්වභාව ඇත්තේය. රළුවූ ආකාර ඇත්තේය, එහෙයින් එය ‘ඛරිගත’ යයි කියනු ලැබේ. උපාදින්නං යනු, තදින් අල්වා ගන්නා ලද්දේය, ‘මමය, මාගේ’යයි මෙසේ දැඩිව ගන්නා ලද්දේය, අල්වා ගන්නා ලද්දේය යන අර්ත්ථයි. සෙය්යථිදං යනු, නිපාතයි, ‘ඒ කවරේද?’ යනු එහි අර්ත්ථයි. ඉක්බිති එය ගෙනහැර දක්වමින් කෙසා, ලොමා යන ආදිය කීහ. මෙහි ‘මත්ථලුඞ්ග’ (හිස්මොළ) යනු අට්ඨිමිඤ්ජා (ඇටමිදුලු) යන්නෙහිම සංග්රහකොට විසි ආකාරයෙකින් පඨවිධාතුව දක්වන ලදැ’යි දතයුතුය. යං වා පන අඤ්ඤං කිඤ්චි (ඉන් බැහැර වූ යමක් ඇත්නම් එය) යනු සෙසු ආපො ආදී කොටස් තුනෙහි ඇති පඨවිධාතුව සංග්රහ කරනලදි.