සමාධිආනිසංසකථා
‘සමාධිභාවනාවෙහි ආනිසංස කවරේද?’යි යමක් කියන ලද්දේ ද, එහි වත්මන් අත්බැව්හිදීම සුඛවිහරණ ආදී වශයෙන් සමාධිභාවනාවෙහි පස්වැදෑරුම් ආනිසංස වේ. ඒ එසේමැයි:- ආශ්‍රවයන් ක්‍ෂයකළ යම් රහත් කෙනෙක් සමවැදීමෙන් එකඟකළ සිත්ඇතිව දිවාකාලය සුවසේ විහරණය කරම්හ’යි සමාධිය වඩත්ද, ඒ රහතුන්ගේ අර්පණා සමාධි භාවනාව වත්මන් අත්බැව්හිදීම සුඛවිහරණ ආනිසංසකොට ඇත්තේ වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ: “චුන්‍දය, ආර්යයන්ගේ විනයෙහි (හික්මීම් විෂයෙහි) මේ (සමාධීහු) ‘සල්ලෙඛ’ (කෙලෙසුන් සිඳින) යයි වහරනු නොලබති, මේ (සමාධීහු) ආර්යයන්ගේ විනයෙහි ‘දිට්ඨධම්මසුඛවවිහාර’යයි වහරනු ලබති”
‘සමවතින් නැගී සමාධිගත වූ සිතින් විදර්ශනා වඩම්හ’යි සමාධිභාවනා වඩන ශෛක්‍ෂයන්ගේ හා පෘථග්ජනයන්ගේ අර්පණා සමාධිභාවනාවද, සම්බාධ සහිත සසර ගමනෙහිදී අවකාශයක් ලැබියහැකිවීමේ නයින් උපචාර සමාධිභාවනාවද විදර්ශනා ආනිසංස කොට ඇත්තේ වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ: “මහණෙනි, සමාධි වඩවු, මහණෙනි, සමාධිගතවූ භික්‍ෂු තෙමේ යථාස්වභාවය මැනවින් දනියි” යනුවෙනි.
යම්කෙනෙක් වනාහි අෂ්ටසමාපත්තීන් උපදවා අභිඥාපාදක ධ්‍යානයට සමවැද, එම සමවතින් නැගී, ‘එක් පුද්ගලයකු වුවද බොහෝ පුද්ගලයන් සේ දිස්වෙති’යි කී නයින් අභිඥාවන් පතමින් (සමාපත්තීන්) උපදවත්ද, ඔවුන්ගේ අර්පණා සමාධිභාවනාව පූර්වභවයෙහි සිද්ධ වූ ආයතනයක් (හේතුවක්) ඇති ඇති විටෙක එය අභිඥාවට පදට්ඨානවන හෙයින් අභිඥා ආනිසංසකොට ඇත්තේ වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ: “ඒ භික්‍ෂු තෙමේ අභිඥාවෙන් සාක්‍ෂාත් කටයුතු යම් යම් ධර්මයක් අභිඥාවෙන් සාක්‍ෂාත් කරනු පිණිස සිත නැඹුරු කරන්නේද, ඒ ඒ ධර්මය විෂයෙහි පූර්වභවයෙහි සිදීධ වූ හේතුවක් ඇති ඇති විටෙක සාක්‍ෂාත් කරනු හැකි බවට පැමිණෙන්නේය” යනුවෙනි.
යම් පෘථග්ජන කෙනෙක් තුමූ ධ්‍යානයෙන් නොපිරිහී බ්‍රහ්මලෝකයෙහි උපදින්නෙමු’යි බ්‍රහ්මලෝකෝත්පත්තිය ප්‍රාර්ත්‍ථනා කෙරෙමින් හෝ, එසේ ප්‍රාර්ත්‍ථනා නොකෙරෙමින් හෝ, සමාධියෙන් නොපිරිහෙත්ද, ඔවුන්ගේ අර්පණා සමාධි භාවනාව භව විශේෂයන් ගෙනදෙන හෙයින් එසේ භව විශේෂ ආනිසංසකොට ඇත්තේ වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ “ප්‍රථමධ්‍යානය ස්වල්ප වශයෙන් වැඩීමෙන් කොහි උපදින්නාහුද? බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන් හා සමබව්හි (එනම් බ්‍රහ්ම ලෝකයෙහි) උපදින්නාහුය” යන ආදී වශයෙනි.
උපචාරසමාධි භාවනාව කාමාවචර සුගති භවවිශේෂයන් එළවන්නේමය.
යම් ආර්ය (රහත්) කෙනෙක් තුමූ “අෂ්ට සමාපත්තීන් උපදවා, නිරෝධ සමාපත්තියට සමවැද සත් දිනක් අචිත්තකව (සතර නාමස්කන්‍ධයෙන් තොරව) සිටිමින් ඉහාත්මභාවයෙහිම නිරොධසංඛ්‍යාත නිර්වාණයට පැමිණ සුවසේ විහරණය කරම්හ”යි සමාධි වඩත්ද, ඔවුන්ගේ අර්පණාසමාධි භාවනාව නිරොධ ආනිසංසකොට ඇත්තේ වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ “සොළොස් (අනිච්චානුපස්සනා ආදී) ඥානචර්යා වශයෙන්ද, නව (ප්‍රථමධ්‍යාන ආදී) සමාධිචර්යා වශයෙන්ද වශීභාවය හේතුකොට උපන් ප්‍රඥාව නිරෝධසමාපත්තිය පිළිබඳ ඥානය වේ” යනුවෙනි.
මෙසේ මේ සමාධිභාවනාව පිළිබඳ ආනිසංස දිට්ඨධම්මසුඛවිහාර (ඉහාත්මයෙහිම වන්නාවූ සුඛවිහරණ) ආදී වශයෙන් පංචවිධ වේ.
තස්මා නෙකානිසංසම්හි කිලෙසමලසොධනෙ
සමාධිභාවනායොගෙ නප්පමජ්ජෙය්‍ය පණ්ඩිතො.
එහෙයින් නුවණැත්තේ අනේක ආනිසංස ඇති, කෙලෙස්මල සෝදාලන, සමාධිභාවනායෝගයෙහි ප්‍රමාද නොවන්නේය.
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යන ආදීවූ මේ ගාථාවෙහි, සීල-සමාධි-පඤ්ඤා යන මාතෘකා වශයෙන් දේශනා කරන ලද විශුද්ධි මාර්ගයෙහි සමාධියද මෙතෙකින් විස්තර කරන ලද්දේ වේ.
සාධුජන ප්‍රමොදය පිණිස කරනලද විසුද්ධිමග්ග නම් ග්‍රන්‍ථයෙහි සමාධිභාවනාධිකාරයෙහි සමාධිනිද්දේස නම් එකොළොස්වන පරිච්ඡේදය මෙතෙකින් සමාප්තයි.
[missing trans]