ආහාරෙ පටික්කූලසඤ්ඤා භාවනාව
ආරුප්ප සමාපත්තීනට අනතුරුව ‘එකා සඤ්ඤා’ යනුවෙන් මෙසේ දක්වන ලද ආහාර විෂයෙහි ප්රතිකූල සංඥාව පිළිබඳ භාවනා නිර්දේශය අනුපිළිවෙළින් පැමිණියේය. එහි ආහරති (එළවයි යන අරුතින්) ‘ආහාර’ නමි. එම ආහාරය කබලිංකාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනොසඤ්චෙතන ආහාරය, විඤ්ඤාණ ආහාරයයි සිවුවැදෑරුම් වේ.
මෙහි, කවරෙක් කවරක් එළවාද යත්, කබලිංකාර ආහාරය ඔජො ගුණය අටවැනිකොට ඇති රූපය එළවයි, ස්පර්ශ ආහාරය වෙදනාත්රයය එළවයි, මනොසංචෙතන ආහාරය තුන් භවයෙහි ප්රතිසන්ධිය එළවයි, විඤ්ඤාණ ආහාරය පිළිසිඳි කෙණෙහි නාමරූප යන දෙක එළවයි.
එම ආහාරයන් අතුරෙන් කබලිංකාර ආහාර විෂයෙහි ආශාව හෙවත් තෘෂ්ණාව නමැති බිය ඇත, ස්පර්ශාහාර විෂයෙහි උපගමන (හෙවත් අරමුණු හා සමඟ එක්වීම) නමැති බිය ඇත, මනොසඤ්චෙතනාහාර විෂයෙහි උප්පත්ති (හෙවත් දුකට හේතුවීමේ) බිය පවතී, විඤ්ඤාණාහාර විෂයෙහි පටිසන්ධි (හෙවත් පිළිසිඳීමේ) බිය පවතී. මෙසේ බිය සහිත වූ මේ ආහාරයන් අතුරෙන් කබලිංකාර ආහාරය පුත්රමාංසූපමාවෙන් පැහැදිලි කළයුතුය. ස්පර්ශාහාරය සමගසනලද ගවයකු පිළිබඳ උපමාවෙන්ද. මනොසංචෙතනාහාරය අඟුරුවළක් පිළිබඳ උපමාවෙන්ද, විඤ්ඤාණාහාරය සත්තිසූල (හෙවත් කැති හුල්) උපමාවෙන්ද පැහැදිලි කළ යුතුවේ. මේ සිවුවැදෑරුම් ආහාරයන් අතුරෙන් බිදීමය, බීමය, කෑමය, ලෙවීමය යන සිවු ආකාර ඇති කබලිංකාර ආහාරය මෙහිලා අභිප්රේත වේ. එම ආහාරයෙහි පිළිකුල්බව ගැනීම් වශයෙන් උපන් සංඥාව ආහාරෙ පටික්කූලසඤ්ඤා නම් වේ.
එම ආහාර පටික්කූලසඤ්ඤා භාවනාව වඩනු රිසියහු විසින් කමටහන උගෙන, උගත් දෙයින් එක් පදයක් හෝ නොවරදවා හුදකලාව විවෙක සුවයෙන් යුතුව, බිදීමය, බීමය, කෑමය, ලෙවීමය යන ප්රභේද සහිත කබලිංකාර ආහාරයෙහි පිළිකුල්බව දශ ආකාරයෙකින් ප්රත්යවෙක්ෂා කටයුතුය. කෙසේදයත් ගමන් වශයෙන්, සෙවීම් වශයෙන්, වැළදීම් වශයෙන්, ආශ්රයස්ථාන වශයෙන්, නිධානස්ථාන වශයෙන්, නොපැසවුණු ආහාර වශයෙන්, පැසවුණු ආහාර වශයෙන්, ඵල වශයෙන්, වැගිරීම් වශයෙන් හා වැකීම් වශයෙනි.
එහි ගමනතො (ගමන් වශයෙන්) යනු, මෙවන් මහ අනුසස් ඇති සස්නෙහි පැවිදිවූවහු විසින් මුළු රාත්රියම බුද්ධවචනය සජ්ඣායන කිරීම හෝ ශ්රමණධර්මය පිළිපැදීම කොට වේලාසනින්ම නැගිට සෑමලු බෝමලුවත් නිමකොට පියයුතු පරිභෝග කළයුතු පැන් එළවා පිරිවෙන් හැමද සිරුරු පිළිදැගුම් කොට අස්නට නැඟ විසිතිස් වරක් කමටහන මෙනෙහිකොට නැගිට පාසිවුරු ගෙන ජනාකීර්ණ නොවූ, විවේකසුව ඇති, සෙවණින් හා ජලයෙන් අනූන වූ, පිරිසුදුවූ, සිහිල්වූ, රමණීය බිම් පෙදෙස් ඇති, තපෝවනය හැර උතුම්වූ විවේකරතිය අපේක්ෂා නොකොට, සොහොනක් බලා යන සිවලකු ලෙසින් අහර පිණිස ගම බලා යායුතුය.
මෙසේ යන්නහු විසින්ද, ඇඳෙන් හෝ පුටුවෙන් බට තැන් පටන් පාදූවිලි සූණු-වසුරු ආදියෙන් වැකුණු බුමුතුරුණු මත පා තැබිය යුතුවේ, ඉක්බිති ඇතැම් දිනෙක මී-වසුරු වවුල්-වසුරු ආදියෙන් වැකුණු හෙයින් ඇතුල්ගෙටත් වඩා පිළිකුල්වූ ආලින්දය දැක්ක යුතුවේ. ඉක්බිති බකමුහුණු පරෙවි ආදීන්ගේ වසුරින් වැකුණුහෙයින් උඩුමහලටත් වඩා පිළිකුල් දනවන යටිමහල දැක්ක යුතුවේ. ඉක්බිති ඇතැම් දිනෙක සුළඟින් කැළඹී ගිය තණ පරණලාවලින්ද, ගිලන් සාමණේරයන්ගේ මල-මූ කෙළ සොටු හා වැසි කාලයෙහි දිය, කලල්, වගුරු ආදියෙන්ද වෙසෙසින් අපවිත්ර වූ හෙයින් යටිමහලටද වඩා පිළිකුල් දනවන පිරිවෙන දැක්ක යුතුවේ. පිරිවෙණටද වඩා පිළිකුල් දනවන වෙහෙරට වදනා මඟ දැක්ක යුතුවේ.
පිළිවෙළින් චෛත්යයද බෝධියද වැඳ විතක්කමාලකයෙහි සිට, මුතුගොඩක් බඳු චෛත්යයද මොනර පිල් කළඹක් බඳු බෝධිවෘක්ෂයද දෙව්විමනක් සෙයින් සශ්රීක වූ සෙනස්නද බලා, ‘මෙවන් රමණීය පෙදෙසකට පිටුපා අහර සොයා යායුතු වන්නේය’යි සිතමින් ගමට පිවිසෙන මඟට බට විට කටු කොහොල් සහිතවූද, සෝදාපාලුවෙන් කැඩී බිදී විෂම වී ගියාවූද මඟ දැක්ක යුතුවේ.
ඉක්බිති ගඬක් (තුවාලයක්) වසන්නකු මෙන් අඳනය හැඳ, වණයක් ඔතන රෙදිපටියක් වැනි පටිය බැඳ. ඇට ගොඩක් වසන්නකු සෙයින් සිවුර පොරවා, බෙහෙත් කබලක් ගන්නකු සෙයින් පාත්රය ගෙන, ගම්දොර සමීපයට පැමිණිවිට, ඇත්කුණප, අස්කුණප, ගවකුණප, මිනිස්කුණප, සර්පකුණප, බලුකුණප ආදියද දැක්ක යුතුවේ. හුදෙක් දැක්ක යුතුවා පමණක් නොව, නහය පාරවන දුර්ගන්ධයද ඉවසිය යුතුවේ. ඉක්බිති ගම්දොර සිට චණ්ඩ හස්ති අශ්ව ආදීවූ උවදුරු වලක්වනු පිණිස ගමට වදනා මංපෙත් බැලිය යුතු වේ.
මෙසේ මේ බුමුතුරුණෙහි පටන් නොයෙක් කුණපජාතීන් කෙළවරකොට ඇති පිළිකුල් උපදවන දෑ පෑගිය යුතුද, දැක්ක යුතුද, ඉවසිය යුතුද වන්නේය. “අහෝ! මේ ආහාරය පිළිකුල් වන්නේය”යි මෙසේ ගමන් වශයෙන් පිළිකුල්බව මෙනෙහි කළ යුතුය.
පරියෙසනතො (සෙවීම් වශයෙන්) කෙසේද යත්: මෙසේ ගමන් වශයෙන් පිළිකුල්බව ඉවසාගෙන ගමට පිවිස සඟල සිවුර පොරවාගෙන, කබලක් අතින් ගත් දිළිඳු මිනිසකු මෙන් ගම් වීදිවල ගෙපිළිවෙළින් හැසිරිය යුතුවේ. එම වීථි වැසි කල්හි, පා තැබූ තැබූ තන්හි ගොප්මස දක්වා දිය මුසු වගුරෙහි එරෙයි. එක් අතෙකින් පාත්රය ගතයුතුවේ. අනෙක් අතින් සිවුර එසවිය යුතුවේ. ගිම්කල්හි සුළං පහරින් නැගෙන පස් කොළරොඩු සහිත දූවිල්ලෙන් වැකුණු සිරුරු ඇතිව හැසිරිය යුතුවේ, ඒ ඒ ගෙදොරට පැමිණ මාලු සේදූ මස් සේදූ සහල් සේදූ දියද, කෙළ සොටු බලු-වසුරු හූරු-වසුරු ආදියද මුසු වූ පණුකැලන් නිලමැස්සන් ගැවැසීගත් අගල්ද, ගවරවළවල්ද දැක්ක යුතුද පෑගිය යුතුද වේ, එම අගල්වලින් ගවරවළවලින් නැඟි මැස්සෝ සඟල සිවුරෙහිද, පාත්රයෙහිද, හිසෙහිද වසාගෙන සිටිති.