8. 11. 1.
අට්ඨමග්ගඞ්ක සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අෂ්ට ධර්‍ම කෙනෙක් බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:
සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධි යි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අෂ්ට ධර්‍මයෝ බැවිය යුතුවහ යි.
8. 11. 2.
අට්ඨඅභිභායතන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අෂ්ට ධර්‍මයෝ බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:
අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇතියේ නො වැඩූ සුවර්‍ණ දුවර්‍ණ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මියි දක්මියි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇතියේ අප්‍රමාණ වූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ ය. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ නො වැඩූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ අප්‍රමාණ වූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මියි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ නීල වූ නීලවර්‍ණ වූ නීල නිදර්‍ශන වූ (එක නීලවරපන්නෙ) නීල ප්‍රභා ඇති බාහිර රූපායතනයන් දක්නේ ය ... පීතවූ පීතවර්‍ණ වූ ... ලෝහිත වූ ලෝහිතවර්‍ණ වූ ... අවදාත වු අවදාතවර්‍ණ වූ ... අවදාත ප්‍රභා ඇත්තා වූ ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අට දහම්හු බැවිය යුතුයහ යි.
8. 11. 3.
අට්ඨවිමොක්ඛ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අටදහම්හු බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:
රූපී වූයේ රූපායතනයන් දක්නේ ය. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ බාහිර රූපායතනයන් දක්නේ ය. සුභයැයි කියාම අධිමුක්ත වූයේ වෙයි. හැම අයුරින් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ආකාසය අනන්ත යී ආකාසානඤ්චායතනයට එළැඹ වෙසේ. හැම පරිදි ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත යි, විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාසය කෙරේ.
හැම අයුරින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා නත්‍ථිකිඤ්චි යී ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසේ. හැම අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. හැම අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වෙසෙයි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අටදහම්හු බැවිය යුතුව හ යි.
8. 11. 4-510.
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස ... මේ අටදහම්හු බැවිය යුතුවහ.
ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යාගේ ... මායාවගේ ... සාඨෙය්‍යයාගේ ... ථම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... පමාදයාගේ ... අභිජානනය පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස මේ අටදහම්හු බැවිය යුතුවහ.
රාගපෙය්‍යලාය නිමි.
අට්ඨක නිපාත සමාප්ත යි.