6. 1. 6.
[අස්සාද සූත්රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මෙ දහම්හු තිදෙනෙකි. කවර තිදෙනක යත්:
ආස්වාද (ශාශ්වත) දෘෂ්ටිය හා ආත්මානු (සත්කාය) දෘෂ්ටිය හා මිථ්යාදෘෂ්ටි (දෙසැටමිසදිටු) යි. මහණෙනි, මෙ දහම් තිදෙන ය.
මෙ ධර්මයන් තිදෙන ප්රහීණ කරණු සඳහා ධර්මයෝ තිදෙනෙක් වැඩිය යුතු. කවර තිදෙනෙක යත්:
ආස්වාදදෘෂ්ටිහුගේ ප්රහාණය සඳහා අනිත්යසංඥා වැඩිය යුතු ය. ආත්මානුදෘෂ්ටිහුගේ ප්රහාණය සඳහා අනාත්මසංඥා වැඩිය යුතු යැ, මිථ්යාදෘෂ්ටිහුගේ ප්රහාණය සඳහා මාර්ග සම්යග්දෘෂ්ටිය වැඩිය යුතු යි.
මහණෙනි, මෙ තුන් දහමුන්ගේ ප්රහාණය සඳහා මෙ තුන් දහම්හු වැඩිය යුත්තාහ යි.
6. 1. 7.
[අරති සූත්රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, මෙ දහම්හු තිදෙනෙකි. කවර තිදෙනෙක යත්:
අරති හා විහිංසා හා අධම්මචරියා යි. මහණෙනි, මෙ දහම් තිදෙන ය.
මහණෙනි, මෙ දහම් තුණ ප්රහීණ කිරීමට දහම් තුණක් වැඩිය යුතු. කවර තුණෙක යත්:
අරතිහුගේ ප්රහාණය සඳහා මුදිතා වැඩිය යුතු ය. විහිංසාවගේ ප්රහාණය සඳහා අවිහිංසාව වැඩිය යුතු ය. අධර්මචර්ය්යාවගේ ප්රහාණය සඳහා ධර්මචර්ය්යාව වැඩියයුතු.
මහණෙනි, මෙ දහම් තිදෙනගේ ප්රහාණය සඳහා මෙ දහම් තිදෙන වැඩිය යුත්තාහ යි.
6. 1. 8.
[අසන්තුට්ඨිතා සූත්රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, මෙ ධර්මයෝ තිදෙනෙකි. කවර තිදෙනක යත්:
අසන්තුට්ඨිතා ය, අසම්පජඤ්ඤ ය, මහිච්ඡතා යි. මහණෙනි, මෙ ධර්මයෝ තුන්දෙනා යි.
මහණෙනි, මෙ දහම් තිදෙනාගේ ප්රහාණය සඳහා දහම් තිදෙනෙක් වැඩියයුත්තාහ. කවර තිදෙනෙක යත්:
අසන්තුෂ්ටියගේ ප්රහාණය පිණිස සන්තුෂ්ටිතාව වැඩියයුතු, අසම්ප්රජන්යයාගේ ප්රහාණය පිණිස සම්ප්රජන්යය වැඩියයුතු, මහේච්ඡතාවගේ ප්රහාණය පිණිස අල්පේච්ඡතාව (ඉච්ඡා නැතිබව) වැඩියයුතු.
මහණෙනි, මෙ තුන් ධර්මයන් ප්රහීණ කිරීමට මෙ තුන් ධර්මයෝ වැඩිය යුත්තාහ.
6. 1. 9.
[දෝවචස්සතා සූත්රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, මෙ දහම් තුණෙකි. කවර තුණෙක යත්:
දෝවචස්සතා ය, පාපමිත්තතා ය, චිත්තයාගේ වික්ෂේප ය යි. මහණෙනි, මෙ දහම් තුණ යි.
මහණෙනි, මෙ දහම් තුණ පහනු සඳහා දහම් තුණෙක් වැඩියයුතු. කවර තුණෙක යත්:
දුර්වචභාවය දුරු කරණු සඳහා සුවචභාවය වැඩියයුතු, පවිටු මිතුරන් ඇතිබව ප්රහීණ කරණු සඳහා කලණමිතුරන් ඇතිබව වැඩියයුතු, චිත්තයාගේ වික්ෂේපය දුරලනු සඳහා ආනාපානසතිය වැඩිය යුතු.
මහණෙනි, මෙ තුන්දහමුන්ගේ ප්රහාණය සඳහා මෙ තුන්දම වැඩිය යුතුය යි.
6. 1. 10.
[උද්ධච්ච සූත්රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මෙ දහම් තුණෙකි. කවර තුණෙක යත්:
උද්ධච්චය හා අසංවරය හා පමාද යි. මහණෙනි, මෙ දහම් තුණ යි.
මහණෙනි, මෙ තුන් දහම් දුරු කරණු සඳහා දහම් තුණෙක් වැඩිය යුතු ය. කවර තුණෙක යත්:
උද්ධච්චයාගේ ප්රහාණය පිණිස සමථය වැඩිය යුතු. අසංවරයාගේ ප්රහාණය සඳහා සංවරය වැඩිය යුතු. ප්රමාදයාගේ ප්රහාණය පිණිස අප්රමාදය වැඩිය යුතු යි.
මහණෙනි, මෙ තුන්දහම් ප්රහීණ කරණු සඳහා මෙ ධර්ම තුණ වැඩිය යුතු යයි.
තික වර්ගය.
එහි උද්දානය:
රාග සූත්රය, දුච්චරිත සූත්රය, විතක්ක සූත්රය, සඤ්ඤා සූත්රය, ධාතු සූත්රය, අස්සාද සූත්රය, අරති සූත්රය, අසන්තුට්ඨිතා සූත්රය, දෝවචස්ස සූත්රය, උද්ධච්ච සූත්රය දැයි දසයෙකි.