6. 1. 4.
[සඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ දහම් තුණෙකි. කවර තුණෙක යත්:
කාමසංඥා, ව්‍යාපාදසංඥා, විහිංසාසංඥා යි. මහණෙනි, මෙ දහම් තුණ යි.
මහණෙනි, මෙ තුන් දහම් ප්‍රහීණ කිරීම සඳහා ධර්‍ම තුණෙක් වැඩිය යුතු. කවර තුණෙක යත්:
කාමසංඥාවගේ ප්‍රහාණය සඳහා නෛෂ්ක්‍රම්‍යසංඥා වැඩිය යුතු, ව්‍යාපාදසංඥාවගේ ප්‍රහාණය සඳහා අව්‍යාපාද සංඥා වැඩිය යුතු, විහිංසාසංඥාවගේ ප්‍රහාණය සඳහා අවිහිංසාසංඥාව වැඩිය යුතු යි.
මහණෙනි, මෙ ධර්‍මයන් තුන්දෙනා ගේ ප්‍රහාණය සඳහා මෙ තුන් දහම් වැඩියයුතු යයි.
6. 1. 5.
[ධාතු සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මෙ ධර්‍මයෝ තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක යත්:
කාමධාතු හා ව්‍යාපාදධාතු හා විහිංසාධාතු යි. මහණෙනි, මෙ ධර්‍මයෝ තුන්දෙන යි.
මහණෙනි, මෙ තුන්දහමුන්ගේ ප්‍රහාණය සඳහා දහම් තිදෙනෙක් වැඩිය යුතු ය. කවර තිදෙනෙක යත්:
කාමධාතුහුගේ ප්‍රහාණය සඳහා නෙක්ඛම්මධාතුව වැඩියයුතු යැ, ව්‍යාපාදධාතුහුගේ ප්‍රහාණය සඳහා අව්‍යාපාදධාතුව වැඩිය යුතු යැ, විහිංසාධාතුහුගේ ප්‍රහාණය සඳහා අවිහිංසාධාතුව වැඩිය යුතුයි.
මහණෙනි, මෙ දහම් තිදෙනාගේ ප්‍රහාණය සඳහා මෙ දහම් තිදෙන වැඩිය යුත්තාහ යි.
6. 1. 6.
[අස්සාද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මෙ දහම්හු තිදෙනෙකි. කවර තිදෙනක යත්:
ආස්වාද (ශාශ්වත) දෘෂ්ටිය හා ආත්මානු (සත්කාය) දෘෂ්ටිය හා මිථ්‍යාදෘෂ්ටි (දෙසැටමිසදිටු) යි. මහණෙනි, මෙ දහම් තිදෙන ය.
මෙ ධර්‍මයන් තිදෙන ප්‍රහීණ කරණු සඳහා ධර්‍මයෝ තිදෙනෙක් වැඩිය යුතු. කවර තිදෙනෙක යත්:
ආස්වාදදෘෂ්ටිහුගේ ප්‍රහාණය සඳහා අනිත්‍යසංඥා වැඩිය යුතු ය. ආත්මානුදෘෂ්ටිහුගේ ප්‍රහාණය සඳහා අනාත්මසංඥා වැඩිය යුතු යැ, මිථ්‍යාදෘෂ්ටිහුගේ ප්‍රහාණය සඳහා මාර්‍ග සම්‍යග්දෘෂ්ටිය වැඩිය යුතු යි.
මහණෙනි, මෙ තුන් දහමුන්ගේ ප්‍රහාණය සඳහා මෙ තුන් දහම්හු වැඩිය යුත්තාහ යි.
6. 1. 7.
[අරති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, මෙ දහම්හු තිදෙනෙකි. කවර තිදෙනෙක යත්:
අරති හා විහිංසා හා අධම්මචරියා යි. මහණෙනි, මෙ දහම් තිදෙන ය.
මහණෙනි, මෙ දහම් තුණ ප්‍රහීණ කිරීමට දහම් තුණක් වැඩිය යුතු. කවර තුණෙක යත්:
අරතිහුගේ ප්‍රහාණය සඳහා මුදිතා වැඩිය යුතු ය. විහිංසාවගේ ප්‍රහාණය සඳහා අවිහිංසාව වැඩිය යුතු ය. අධර්‍මචර්‍ය්‍යාවගේ ප්‍රහාණය සඳහා ධර්‍මචර්‍ය්‍යාව වැඩියයුතු.
මහණෙනි, මෙ දහම් තිදෙනගේ ප්‍රහාණය සඳහා මෙ දහම් තිදෙන වැඩිය යුත්තාහ යි.
6. 1. 8.
[අසන්තුට්ඨිතා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, මෙ ධර්‍මයෝ තිදෙනෙකි. කවර තිදෙනක යත්:
අසන්තුට්ඨිතා ය, අසම්පජඤ්ඤ ය, මහිච්ඡතා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ තුන්දෙනා යි.
මහණෙනි, මෙ දහම් තිදෙනාගේ ප්‍රහාණය සඳහා දහම් තිදෙනෙක් වැඩියයුත්තාහ. කවර තිදෙනෙක යත්:
අසන්තුෂ්ටියගේ ප්‍රහාණය පිණිස සන්තුෂ්ටිතාව වැඩියයුතු, අසම්ප්‍රජන්‍යයාගේ ප්‍රහාණය පිණිස සම්ප්‍රජන්‍යය වැඩියයුතු, මහේච්ඡතාවගේ ප්‍රහාණය පිණිස අල්පේච්ඡතාව (ඉච්ඡා නැතිබව) වැඩියයුතු.
මහණෙනි, මෙ තුන් ධර්‍මයන් ප්‍රහීණ කිරීමට මෙ තුන් ධර්‍මයෝ වැඩිය යුත්තාහ.