6. 2. 5. 1.
[පාතුභාව සූත්රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, සදෙනකුන්ගේ පාළවීම ලොව්හි දුර්ලභ වෙයි. කවර සදෙනකුන්ගේ ය යත්:
තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන්ගේ පහළවීම ලොව්හි දුර්ලභ වෙයි, තථාගතප්රවිදිත ධර්ම විනය දෙසන පුද්ගල ලොව්හි දුර්ලභ වෙයි, ආර්ය්යායතනයෙහි (මධ්යමදේශයෙහි) ඉපැත්ම ලොව්හි දුර්ලභ වෙයි, ලොව්හි ඉන්ද්රියයන්ගේ අවිකලභාවය දුර්ලභ වෙයි, ලොව්හි අජඩතා හා අනෙලමූගත්ව දුර්ලභ වෙයි, ලොව්හි කුශලධර්මච්ඡන්දය දුර්ලභ වෙයි.
මහණෙනි, මෙ සදෙනාගේ පාළවීම දුර්ලභ වෙයි.
6. 2. 5. 2.
[ආනිසංස සූත්රය]
[සැවැත්නිදාන යි]
43. මහණෙනි, ස්රෝතාපත්තිඵල සාක්ෂාත් ක්රියායෙහි මෙ අනුසස් සයෙකි. කවර සයෙක යත්:
ශාසන සද්ධර්මයෙහි නියත වෙයි, නො පිරිහෙන සැහැවි ඇතියේ වෙයි, කෙළවර කරණලද කෙලෙස් පිළිබඳ දුක් (නැවත) නො වෙයි, (පුහුදුන් හා) අසාධාරණඥානයෙන් සමන්වාගත වෙයි, ඔහු විසින් හේතු ද මොනොවට දක්නාලදුයේ වේ, හේතු සමුත්පන්නධර්මයෝ ද මොනොවට දක්නාලදහ.
මහණෙනි, ස්රෝතාපත්තිඵල සාක්ෂාත් ක්රියායෙහි මෙ අනුසස් සය යි.
6. 2. 5. 3.
[අනිච්ච සූත්රය]
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, එ මහණ කිසිදු සංස්කාරයන් නිත්යවශයෙන් බලන්නේ අනුලෝමක්ෂාන්තියෙන් සමන්වාගත වන්නේ ය’ යන තෙල කරුණ විද්යමාන නො වේ. අනුලෝමික ක්ෂාන්තියෙන් සමන්වාගත නො වූයේ සම්යක්ත්වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. සම්යක්ත්ව නියාමයට නො බස්නේ සෝවත්පල වේවයි සෙදගැමිපල වේවයි අනගැමිපල වේවයි රහත්පල වේවයි පසක් කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ.
මහණෙනි, එ මහණ එකැතින් සර්වසංස්කාරයන් අනිත්ය විසින් දක්නේ, අනුලෝමික ක්ෂාන්තියෙන් සමන්වාගත වන්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි, අනුලෝමික ක්ෂාන්තියෙන් සමන්වාගත වූයේ සම්යක්ත්ව නියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි. සම්යක්ත්වනියාමයට බස්නේ සෝතාපත්තිඵලය හෝ සකදාගාමිඵලය හෝ අනාගාමිඵලය හෝ අර්හත්ඵලය හෝ පසක් කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ ය යි.
6. 2. 5. 4.
[දුක්ඛ සූත්රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, ඒ මහණ එකැතින් කිසි සංස්කාරයක් සුබ විසින් දක්නේ … තෙල කරුණ විද්යමාන නො වේ.
ඒ මහණ එකැතින් සර්ව සංස්කාරයන් දුඃඛ විසින් දක්නේ … තෙල කරුණ විද්යමාන වේ ය යි.
6. 2. 5. 5.
[අනත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, ඒ මහණ එකැතින් කිසි ධර්මයක් ආත්මවශයෙන් දක්නේ … තෙල කරුණ විද්යමාන නො වේ.
ඒ මහණ එකැතින් සර්ව ධර්මයන් අනාත්ම විසින් දක්නේ … තෙල කරුණ විද්යමාන වේ ය යි.
6. 2. 5. 6.
[නිබ්බාන සූත්රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, එකැතින් ඒ මහණ නිර්වාණය දුඃඛ විසින් දක්මින් අනුලොමිකක්ෂාන්තියෙන් සමන්වාගත වන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. අනුලොමිකක්ෂාන්තියෙන් සමන්වාගත නො වූයේ සම්යක්ත්වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. සම්යක්ත්වනියාමයට නො බස්මින් සෝතාපත්තිඵලය වේවයි සකදාගාමිඵලය වේවයි අනාගාමි ඵලය වේවයි අර්හත්ඵලය වේවයි සාක්ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ.
මහණෙනි, ඒ මහණ එකැතින් නිර්වාණය සුඛ විසින් දක්නේ අනුලොමිකක්ෂාන්තියෙන් සමන්වාගත වන්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි. අනුලොමිකක්ෂාන්තියෙන් සමන්වාගත වූයේ සම්යක්ත්වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි. සම්යක්ත්වනියාමයට බස්නේ සෝතාපත්තිඵලය හෝ සකදාගාමිඵලය හෝ අනාගාමිඵලය හෝ අර්හත්ඵලය හෝ සාක්ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ ය යි.
6. 2. 5. 7.
[අනවත්ථිත සූත්රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, අනුසස් සයක් මොනොවට දක්නා මහණහු විසින් සර්වසංස්කාරයන්හි මර්ය්යාදා (කොටස්) රහිත කොට අනිත්යසංඥාව සිත්හි එළවා ගන්නට නිසි වේ මැ යි. කවර සයෙක යත්:
හැම සංස්කාරයෝ අනවස්ථිත (ස්ථාන භේද රහිත ව බිඳෙනසුලු) සෙයින් මට වැටහෙත්, (ස්කන්ධ සඞ්ඛ්යාත) හැම ලොව්හිදු මාගේ සිත නො ඇලෙන්නේ ය, මාගේ සිත සකල ත්රෛධාතුක ලෝකයෙන් ද නැඟ සිටුනේ ය, මාගේ චිත්තය නිර්වාණයට නැඹුරු වන්නේ ය, මාගේ සංයෝජනයෝ ද ප්රහාණයට යන්නාහ, උත්තම ශ්රමණභාවයෙන් (ආර්ය මාර්ගයෙන්) සමන්වාගත ද වන්නේ ය.
මහණෙනි, මෙ අනුසස් සය මැනැවින් දක්නා මහණහු විසින් හැම සංස්කාරයන්හි මර්ය්යාදා රහිත කොට අනිත්යසංඥාව එළවන්නට සුදුසු ය යි.