6. 2. 4. 1.
[සීතිභාව සූත්රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ අනුත්තර ශීතලභාවය (නිවණ හෝ ක්ලේශජාතව්යුපශමය) ප්රත්යක්ෂ කරන්නට නො පොහොසත් වෙයි. කවර සයෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ, යම් කලෙක්හි සිත නිග්රහ කළ (සමාධියෙන් දැමිය) යුතු වේ නම් ඒකාලයෙහි සිත නො නිගන්නේ ය. යම් කලෙක්හි සිත ප්රග්රහ (වීර්ය්යයෙන් උත්සාහවත්) කටයුතු වේ නම්, එ සමයෙහි සිත නංවා නො ගන්නේ ය. යම් සමයෙක්හි සිත මොනොවට (සමාධියෙන්) පහන් කටයුතු වේ නම් එ සමයෙහි සිත සම්ප්රහර්ෂණ නො කරන්නේ ය. යම් සමයෙක්හි සිත අධ්යුපේක්ෂණ (උපේක්ෂාවෙන් මධ්යස්ථ) කටයුතු වේ නම් එ සමයෙහි සිත අධ්යුපේක්ෂණ නො කරන්නේ ය. හීනාධිමුක්ති (ලමු අදහස්) ඇතියේ ද වෙයි. සත්කායදෘෂ්ටියෙහි අභිරත වූයේ ද වෙයි.
මහණෙනි, මෙ සකරුණෙන් සමන්වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්ෂාත් කරන්නට අභව්ය වෙයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්ෂාත් කරන්නට නිසි වෙයි. කවර සයෙකින් යත්:
මහණෙනි මෙ සස්නෙහි මහණ යම් කලෙක්හි චිත්තය නිග්රහ කටයුතු වේ නම්, එසමයෙහි චිත්තය නිග්රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය ප්රගෘහීතව්ය වේ නම්, එසමයෙහි චිත්තය ප්රග්රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය සම්ප්රහර්ෂයට නිසි වේ නම්, එ සමයෙහි චිත්තය සම්ප්රහර්ෂ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය අධ්යුපේක්ෂණීය වේ නම් එ සමයෙහි චිත්තය අධ්යුපේක්ෂා කෙරෙයි, ප්රණීතාධිමුක්ති (උතුම් අදහස්) ඇතියේ ද වෙයි. නිර්වාණයෙහි අභිරත ද වේ.
මහණෙනි, මෙ සකරුණෙන් සමන්වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්ෂාත් කරන්නට භව්ය වෙයි.
6. 2. 4. 2.
[ආවරණ සූත්රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, සකරුණෙකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසනුයේ නමුදු කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට (මාර්ගයට) බස්නට අභව්ය වෙයි. කවර සකරුණෙන යත්:
(පඤ්චානන්තර්ය්යකර්ම සඞ්ඛ්යාත) කර්මාවරණතායෙන් සමන්වාගත වෙයි, (නියතමිථ්යාදෘෂ්ටි සඞ්ඛ්යාත) ක්ලේශාවරණයෙන් සමන්වාගත වෙයි, (අකුසලවිපාකපටිසන්ධි හෝ කුසලවිපාකහේතුක ප්රතිසන්ධි සඞ්ඛ්යාත) විපාකාවරණයෙන් සමන්වාගත වෙයි, ශ්රද්ධා නැතියේත් වෙයි, කත්තුකාමතාකුසලච්ඡන්ද නැතියේ ද වෙයි, දුෂ්ප්රාඥ ද වෙයි.
මහණෙනි, මේ සකරුණෙන් සමන්වාගත වූයේ සදහම් අසන්නේ නමුදු කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්යාත මාර්ග නියාමයට බස්නට අභව්ය වෙයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසන්නේ මැ කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්යාත මාර්ගනියාමයට බස්නට භව්ය වෙයි. කවර සයෙකින යත්:
කර්මාවරණතායෙන් සමන්වාගත නො වෙයි, ක්ලේශාවරණතායෙන් සමන්වාගත නො වෙයි, විපාකාවරණතායෙන් සමන්වාගත නො වෙයි, ශ්රද්ධා ඇතියේ වෙයි, කත්තුකාමතාකුසලච්ඡන්දයෙන් සමන්වාගත වෙයි, ප්රඥා ඇතියේ වෙයි.
මහණෙනි, මෙ සකරුණින් සමන්වාගත වූයේ සද්ධර්මය අසන්නේ මැ කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්යාත මාර්ග නියාමයට බස්නට භව්ය වෙයි.
6. 2. 4. 3.
[වෝරෝපිත සූත්රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත වූයේ සදහම් අසන්නේ නමුදු කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට බස්නට අභව්ය වෙයි. කවර සයෙකින යත්:
මව දිවියෙන් ගැළවූයේ වෙයි, පියා දිවියෙන් ගැළවූයේ වෙයි, රහතුන් දිවියෙන් ගැළවූයේ වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ශරීරයෙහි ලෙහෙ උපදවනලද වෙයි, සඟහු බිඳුවනලද වෙත්, ජඩ වූයේ කෙලතොලු වූයේ දුෂ්ප්රාඥ වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත වූයේ සදහම් අසනුයේ ද කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට බස්නට නො නිසියේ වේ.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසනුයේ මැ කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්යාත නියාමයට බස්නට භව්ය වෙයි. කවර සයෙකින යත්:
මව දිවියෙන් නො ගැළවූයේ වෙයි, පියා දිවියෙන් නො ගැළවූයේ වෙයි, රහතුන් දිවියෙන් නො ගැළවූයේ වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ලෝහිත නො උපදවනලද වෙයි, සඟහු නො බිඳුවනලද වෙති, ජඩ නො වූයේ කෙලතොලු නො වූයේ ප්රඥාවත් වේ.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්වාගත වූයේ සදහම් අසන්නේ මැ කුශලධර්මයන්හි සම්යක්ත්වය සඞ්ඛ්යාත නියාමයට බස්නට භව්ය වේ ය යි.