6. 2. 2. 4.
[සඞ්ගණිකාරාම සූත්රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, ගණසඞ්ගණිකායේහි ඇලුම් ඇති, ගණසඞ්ගණිකායේහි (ඔවුනොවුන් හා සසඟ ව විසීමෙහි) නියැලි, ගණසඞ්ගණිකාරාමතායෙහි අනුයුක්ත වූ, ගෙණෙහි ඇලෙන සුලු ගෙණෙහි රැඳුනු ගණාරාමතායෙහි නියුක්ත, එ බඳු මහණ ඒකාකී වූයේ ප්රවිවේකයෙහි සිත් අලවා වෙසේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. එකලා වූයේ ප්රවිවේකයෙහි අභිරමණය නො කරණුයේ (සමාධිවිපස්සනා) චිත්තයාගේ නිමිත්ත ගන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. චිත්තයාගේ නිමිත්ත නො ගන්නේ සම්යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. සම්යග් දෘෂ්ටිය නො පුරා සම්යක් (මාර්ග) සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. සම්යක්සමාධිය නො පුරා සංයෝජනයන් දුරු කරන්නේ යන තෙල කරුණ විද්යමාන නො වේ. සංයෝජනයන් නො පහා නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ.
මහණෙනි, ගණසඞ්ගණිකාරාම නො වූ ගණසඞ්ගණිකායේහි නො ඇලුනු සඞ්ගණිකාරාමතායෙහි අනුයුක්ත නො වූ, ගෙණෙහි ඇලුම් නැති ගෙණෙහි නො නියැලි ගණාරාමතායෙහි අනුයුක්ත නො වූ, එබඳු මහණ ඒකාන්තයෙන් එකලා වූයේ ප්රවිවේකයෙහි අභිරමණය කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ. එකලා වූයේ ප්රවිවේකයෙහි අභිරමණය කරණුයේ සමාධිවිපස්සනාචිත්තයාගේ නිමිත්ත ගන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ. චිත්තයාගේ නිමිත්ත ගන්නේ සම්යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ. සම්යග්දෘෂ්ටිය පුරා සම්යක් සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ. සම්යක්සමාධිය පුරා සංයෝජනයන් දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ. සංයෝජනයන් පහා නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ ය යි.
6. 2. 2. 5.
[දේවතා සූත්රය]
[සැවැත්නිදාන යි]
15. එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්මැ ගිය කල්හි අභිකාන්ත වර්ණ ඇතියේ හැම දෙව්රම බබුළුවා භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි එ දෙවි භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, භික්ෂූහුගේ අපරිහානිය පිණිස මෙ ධර්මයෝ සදෙනෙක් පවත්නාහ. කවර සදෙනෙක යත්:
සත්ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සෝවචස්සතා ය, කල්යාණමිත්තතා යි.
වහන්ස, මෙ කරුණු සදෙන භික්ෂූහුගේ අපරිහානිය පිණිස වැටෙති යි. ඒ දෙවි මේ කීය. ශාස්තෘහු අනුදත්හ.
ඉක්බිති ඒ දෙවි ශාස්තෘහු ම බස් අනුදත්හයි භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් මහණුන් ඇමතූහ: මහණෙනි, මෙ රෑ අන්යතර දෙවියෙක් අභිකාන්ත වර්ණ ඇතියේ රෑ පෙරයම ඉක්මැගිය කල්හි හැම දෙව්රම බබුළුවා මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි එ දෙවි මට තෙල කරුණ කීය:
“වහන්ස, මෙ සකාරණයෝ මහණහුගේ අපරිහානිය පිණිස වැටෙති. කවර සයෙක යත්:
සත්ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සෝවචස්සතා ය, කල්යාණමිත්තතා යි.
වහන්ස, මෙ සදහම්හු භික්ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙති”යි.
මහණෙනි, එ දෙවි මේ කීය. මෙ කියා මා වැඳ පැදකුණු කොට එහි ම ඇතුරුදහන් වී ය යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, මම භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මෙ දහම්හුගේ අර්ත්ථය මෙසේ විතර විසින් දන්මි: වහන්ස, මෙ සස්නෙහි මහණ තෙමේ ද ශාස්තෘන් කෙරෙහි ගෞරව ඇතියේ වෙයි, ශාස්තෘගෞරවයෙහි ගුණ බණන සුලු ද වෙයි. ශාස්තෘගෞරව නැති යම් කිසි අන්ය මහණහු වෙත් නම් ඔවුනුදු ශාස්තෘගෞරවයෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව ඇති යම්කිසි අන්ය මහණහු වෙත් නම්, ඔවුන්ගේ භූත වූ තථ්ය වූ ගුණය සුදුසු කල්හි කියයි. තෙමේත් ධර්මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇතියේ වෙයි ... ශික්ෂාගෞරව ඇතියේ වෙයි ... සුවච වෙයි ... කල්යාණමිත්රයන් ඇතියේ වෙයි. කලණමිතුරන් ඇතිබැව්හි ගුණ බණන සුලු ද වෙයි. කලණමිතුරන් නැති යම් අන් මහණහු වෙත් නම් ඔවුනුදු කලණමිතුරන් ඇති බැව්හි සමාදන් කරවයි. කලණ මිතුරන් ඇති යම් අන් මහණහු වෙත් නම්, ඔවුන්ගේ ද භූත වූ තථ්ය වූ ගුණ නිසි කල්හි කියයි.
වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ ධර්මයාගේ අර්ත්ථය මෙසෙයින් මම විතර විසින් දන්මි’යි.