6. 2. 2. 1.
[අනාගාමිඵල සූත්රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, දහම් සදෙනකුන් නො පහා අනාගාමිඵල සාක්ෂාත් කරන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
අස්සද්ධිය (ශ්රද්ධා නැතිබව), අහිරික ය (පවට ලජ්ජා නැතිබව), අනොත්තප්ප ය (පවට භය නැතිබව), කෝසජ්ජ ය (කුසීත බව), මුට්ඨසච්ච ය (සිහි නැතිබව), දුප්පඤ්ඤතා (ප්රඥා නැතිබව) යි.
මහණෙනි, මෙ ධර්ම සය නො පහා අනාගාමිඵලය සාක්ෂාත් කරන්නට අභව්ය වෙයි.
මහණෙනි, ධර්ම සයක් පහා අනාගාමිඵලය සාක්ෂාත් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
අස්සද්ධි ය, අහිරික ය, අනොත්තප්ප ය, කෝසජ්ජ ය, මුට්ඨසච්ච ය, දුප්පඤ්ඤතා ය යි.
මහණෙනි, මෙ දහම් සය පහා අනගැමිපල පසක් කරන්නට නිසි වේ ය යි.
6. 2. 2. 2.
[අරහත්තඵල සූත්රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, ධර්ම සයක් නො පහා අර්හත්වය සාක්ෂාත් කරන්නට අභව්ය වෙයි. කවර සයෙක යත්:
ථින ය, මිද්ධ ය, උද්ධච්ච ය, කුක්කුච්ච ය, අස්සද්ධිය ය, පමාද යි.
මහණෙනි, මෙ ධර්ම සය නො පහා අර්හත්වය සාක්ෂාත් කරන්නට අභව්ය වෙයි.
මහණෙනි, දහම් සයක් පහා අර්හත්වය පසක් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
ථීන ය, මිද්ධ ය, උද්ධච්ච ය, කුක්කුච්ච ය, අස්සද්ධිය ය, පමාද ය යි.
මහණෙනි, මෙ දහම් සය පහා අර්හත්වය සාක්ෂාත් කරන්නට නිසි වේ ය යි.
6. 2. 2. 3.
[මිත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, පවිටු මිතුරන් ඇති පවිටු යහළුවන් ඇති පාපයනට නැඹුරු වූ, පාපමිත්රයන් සෙවුනා භජනය කරණ පර්ය්යුපාසන කරන, ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණෙන එබඳු මහණෙක් (වත් විසින් ප්රඥප්ත ශීල සඞ්ඛ්යාත) ආභිසමාචාරික ධර්මය සම්පූර්ණ කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. ආභිසමාචාරික ශීලය නො පුරා (ශෛක්ෂප්රඥප්ත ශීල සඞ්ඛ්යාත) ශෛක්ෂධර්මය පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. ශෛක්ෂධර්මය නො පුරා සතර මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. සතර මහසිල් නො පුරා කාමරාගය වේවයි රූපරාගය වේවයි අරූපරාගය වේවයි දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ.
මහණෙනි, කලණමිතුරන් ඇති කලණ සගයන් ඇති කලණ පුඟුලන් කෙරෙහි සම්ප්රවඞ්ක වූ, කල්යාණ මිත්රයන් සෙවුනා භජනය කරණ කල්යාණයන් පර්ය්යුපාසන කරණ, ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණෙන එබඳු මහණ ආභිසමාචාරිකශීල සඞ්ඛ්යාත ධර්මය පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි. ආභිසමාචාරිකධර්මය පුරා ශෛක්ෂධර්මය පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි. ශෛක්ෂධර්මය පුරා මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි. මහසිල් පුරා කාමරාගය වේවයි රූපරාගය වේවයි අරූපරාගය වේවයි දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ ය යි.
6. 2. 2. 4.
[සඞ්ගණිකාරාම සූත්රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, ගණසඞ්ගණිකායේහි ඇලුම් ඇති, ගණසඞ්ගණිකායේහි (ඔවුනොවුන් හා සසඟ ව විසීමෙහි) නියැලි, ගණසඞ්ගණිකාරාමතායෙහි අනුයුක්ත වූ, ගෙණෙහි ඇලෙන සුලු ගෙණෙහි රැඳුනු ගණාරාමතායෙහි නියුක්ත, එ බඳු මහණ ඒකාකී වූයේ ප්රවිවේකයෙහි සිත් අලවා වෙසේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. එකලා වූයේ ප්රවිවේකයෙහි අභිරමණය නො කරණුයේ (සමාධිවිපස්සනා) චිත්තයාගේ නිමිත්ත ගන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. චිත්තයාගේ නිමිත්ත නො ගන්නේ සම්යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. සම්යග් දෘෂ්ටිය නො පුරා සම්යක් (මාර්ග) සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. සම්යක්සමාධිය නො පුරා සංයෝජනයන් දුරු කරන්නේ යන තෙල කරුණ විද්යමාන නො වේ. සංයෝජනයන් නො පහා නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ.
මහණෙනි, ගණසඞ්ගණිකාරාම නො වූ ගණසඞ්ගණිකායේහි නො ඇලුනු සඞ්ගණිකාරාමතායෙහි අනුයුක්ත නො වූ, ගෙණෙහි ඇලුම් නැති ගෙණෙහි නො නියැලි ගණාරාමතායෙහි අනුයුක්ත නො වූ, එබඳු මහණ ඒකාන්තයෙන් එකලා වූයේ ප්රවිවේකයෙහි අභිරමණය කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ. එකලා වූයේ ප්රවිවේකයෙහි අභිරමණය කරණුයේ සමාධිවිපස්සනාචිත්තයාගේ නිමිත්ත ගන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ. චිත්තයාගේ නිමිත්ත ගන්නේ සම්යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ. සම්යග්දෘෂ්ටිය පුරා සම්යක් සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ. සම්යක්සමාධිය පුරා සංයෝජනයන් දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ. සංයෝජනයන් පහා නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ ය යි.
6. 2. 2. 5.
[දේවතා සූත්රය]
[සැවැත්නිදාන යි]
15. එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්මැ ගිය කල්හි අභිකාන්ත වර්ණ ඇතියේ හැම දෙව්රම බබුළුවා භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි එ දෙවි භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: