1. 7. 5.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ලද දැයින් සතුටු බව (අලෝභය) බඳු අන් එක ධර්‍මයකුදු මම නොදක්මි. මහණෙනි, ලද දැයින් සතුටු වන්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 6.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 7.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 8.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, (මෝහ සඞ්ඛ්‍යාත) අසම්පජඤ්ඤය වැනි අන් එක ධර්‍මයකුදු මම නොදක්මි. මහණෙනි, සම්මූඪ පුද්ගලයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 9.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, සම්‍යක්ප්‍රඥාව (තීරණප්‍රඥාව) වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 10.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, පාප මිත්‍රතාව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, පාපමිත්‍රයන් ඇත්තහුට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
සත්වන වග යි.
8. කල්‍යාණමිත්‍ර වර්‍ගය
[සැවැත්නිදාන යි]
1. 8. 1.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශල ධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, කල්‍යාණමිත්‍රතාව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කලණ මිතුරන් ඇත්තාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශල ධර්‍මයෝ පිරිහෙත්.
1. 8. 2.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අකුශල ධර්‍මයන්හි යෙදීම හා (චාතුර්භූමක) කුශලධර්‍මයන්හි නො යෙදීම ද වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීමෙනුදු කුශලධර්‍මයන්හි නොයෙදීමෙනුදු නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 8. 3.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නොයෙදීම ද වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීමෙන් හා අකුශල ධර්‍මයන්හි නො යෙදීමෙන් හා නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 8. 4.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට නො යෙත් නම්, මහණෙනි, අයෝනිසෝ මනසිකාරය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද බෝධ්‍යඞ්ග ධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට නො යෙත්.
1. 8. 5.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට යෙත් නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට යෙත්.
1. 8. 6.
මහණෙනි, යම් ඥාති පරිහාණියෙක් වේ නම්, මෙය අල්පමාත්‍ර වූ පරිහාණි යෙකි. මහණෙනි, යම් ප්‍රඥාපරිහාණියෙක් වේ නම්, පිරිහීම් අතුරෙන් තෙල පිරිහීම නිකෘෂ්ට ය.