1. 6. 5.
මහණෙනි, ඉදින් මහණ අසුරුසනක් පමණකුදු මෙත් සිත මෙනෙහි කෙරේ නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ වෙසේය යි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ නොසිස් වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වළඳයි. යම් කෙනෙක් එය බහුලවශයෙන් කෙරෙත් නම්, (එහි ලා) කවර කථා ද?
1. 6. 6.
මහණෙනි, යම් ධර්‍ම කෙනෙක් අකුශල වෙත් ද, අකුශලභජනයෙහි, අකුශල පක්‍ෂයෙහි වැටෙත් ද, එහැම ධර්‍මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්‍මයනට පළමු උපදනේය. ඒ හා එක්වට ම අකුශලධර්‍මයෝ උපදිත්.
1. 6. 7.
මහණෙනි, යම් කිසි ධර්‍ම කෙනෙක් කුශල වෙත් ද, කුශලභජනයෙහි, කුශලපක්‍ෂයෙහි වැටෙත් ද, ඒ සියලු ධර්‍මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්‍මයනට පළමු උපදනේය. ඒ හා එක්වට ම කුශලධර්‍මයෝ උපදිත්.
1. 6. 8.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, පමා වූ පුඟුල්හට නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශල ධර්‍මයෝ පිරිහෙත්.
1. 6. 9.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නොපමා පුඟුල්හට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශල ධර්‍මයෝ පිරිහෙත්.
1. 6. 10.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, කුසීත බව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීතයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශල ධර්‍මයෝ පිරිහෙත්.
සවන වග යි
7. වීර්‍ය්‍යාරම්භ වර්‍ගය
1. 7. 1.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ඇරඹු වැර ඇත්තාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 2.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශල ධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මහේච්ඡපුද්ගලයාහට නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 3.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.