1. 5. 2.
මහණෙනි, (බිඳිනට හැකි සේ උඩුඅක් කොට) මොනොවට තබනා ලද හැල්වීනංඩුයෙක් වේවයි යවවීනංඩුයෙක් වේවයි, අතින් වේවයි පයින් වේවයි, ඇක්මුනේ ඇත වේවයි, පය වේවයි බිඳුනේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ විද්යමාන වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, නංඩුව මොනොවට තැබූ වන බැවිනි. මහණෙනි, එපරිදි ඒකාන්තයෙන් ඒ මහණ මොනොවට තබන ලද සිතින් අවිද්යාව බිඳුනේ ය, විද්යාව උපදවන්නේ ය, නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය යන මෙකරුණ විද්යමාන වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත මොනොවට තැබූ වන බැවිනි.
1. 5. 3.
මහණෙනි, මම මෙලොවැ (දෝෂයෙන්) ප්රදුෂ්ට වූ සිත් ඇති කිසි පුගුලකු “ඉදින් මේ පුද්ගල තෙමේ මෙ සමයෙහි කලුරිය කරන්නේ නම්, (හිසින්) ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ නිරයෙහි සිතුනේ”යි මෙසේ මා සිතින් උහු සිත පිරිසිඳ දනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මොහුගේ සිත ප්රදුෂ්ට ය, එහෙයිනි. මහණෙනි, මෙසේ මෙලොව සත්ත්ව කෙනෙක් චිත්තප්රදෝෂහේතුයෙන් කාබුන් මරණින් මතු (සුවෙන් තොර බැවින්) අපාය නම් වූ (නපුරු ගති ඇති බැවින්) දුර්ගති නම් වූ (විවස ව පතිත වන බැවින්) විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නාහු ය.
1. 5. 4.
මහණෙනි, මම මෙලොවැ පහන් සිත් ඇති කිසි පුඟුලකු “ඉදින් මේ පුඟුල් මෙ සමයෙහි කලුරිය කරන්නේ නම්, (හිසින්) ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ ස්වර්ගයෙහි සිටුනේ” යි මෙසේ මා සිතින් උහු සිත පිරිසිඳ දනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මොහුගේ සිත පහන් වේ, එහෙයිනි. මහණෙනි, මෙලොව්හි සත්ත්ව කෙනෙක් මෙසේ චිත්තප්රසාදහේතුයෙනු දු කාබුන් මරණින් මතු (සුඛයට ගති වූ හෙයින්) සුගති නම් වූ (මොනොවට අග්ර හෙයින්) සග්ග නම් වූ ලෝකයට පැමිණෙන්නාහු ය.
1. 5. 5.
මහණෙනි, යම් පරිදි නොපහන් වූ කැළැඹුනු මඬබිහිලි දියවිලෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙරැ සිටියේ හැසිරෙන්නා වූ ද සිටුනා වූ ද සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලනුදු කැට කැබලිති හා මස්කැල ද නොදක්නේ වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, දිය නොපහන් වන බැවිනි. එපරිදි ම ඒ මහණ කැළැඹුනු සිතින් යුක්ත ව ඒකාන්තයෙන් ආත්මාර්ත්ථ ය හෝ දැන ගන්නේය, පරාර්ත්ථය හෝ දැන ගන්නේය, උභයාර්ත්ථය හෝ දැන ගන්නේය, (දශකුශලධර්ම සඞ්ඛ්යාත) මනුෂ්යධර්මයෙන් මත්තෙහි වූ ආර්ය්යභාවය කිරීමට සමත් වූ ඥානදර්ශනවිශේෂයක් හෝ පසක් කරන්නේය යන මෙකරුණ සිදු නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නොපහන් වන බැවිනි.
1. 5. 6.
මහණෙනි, යම් පරිදි පිරිසිදු වූ වෙසෙසින් පහන් වූ නොකැළැඹුනු දිය විලෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙරැ සිටියේ හැසිරෙන්නා වූ ද සිටුනා වූ ද සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලනු දු කැටකැබලිති හා මස්කැල ද දක්නේ වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, දිය පහන් වන බැවිනි. මහණෙනි, එපරිදි මා ඒ මහණ ඒකාන්තයෙන් නො කැළැඹුනු සිතින් ආත්මාර්ත්ථය හෝ දැන ගන්නේය, පරාර්ත්ථය හෝ දැන ගන්නේය, උභයාර්ත්ථය හෝ දැන ගන්නේය, මනුෂ්යධර්මයෙන් මත්තෙහි වූ ආර්ය්යභාවය ඇති කර ගැණීමට සමත් ඥානදර්ශනවිශේෂයක් හෝ පසක් කරන්නේය යන මෙ කරුණ විද්යමාන වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත පහන් වන බැවිනි.
1. 5. 7.
මහණෙනි, යම් පරිදි යම්කිසි වෘක්ෂ කෙනෙක් වෙත් නම්, ඔවුනතුරෙන් මෘදුත්වයෙන් හා කර්මණ්යතායෙනු දු බුදුරුදමුනුගස අග්ර යයි කියනු ලැබේ ද, මහණෙනි, එපරිදි ම යමෙක් මෙසේ වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මෘදුත් වේ නම්, කර්මණ්යත් වේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මෘදුත් වෙයි. කර්මණ්යත් වෙයි.
1. 5. 8.
මහණෙනි, යමෙක් මෙසේ වහා ඉපිද නස්නා සුලු වේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත අත්යර්ත්ථයෙන් වහා පෙරළෙන සුලු වේ නම්, (එයට) උපමාවකුදු අතිශයදුෂ්කර වේ.
1. 5. 9.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්රභාස්වර ය, හෙ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි) උපක්ලේශයන්ගෙන් කිලිටි වූයේ ය.
1. 5. 10.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්රභාස්වර ය, හෙ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින.
පස්වන වග යි