1. 4. 10.
මහණෙනි, යමක් මෙසේ දැමුනේ ගෝපනය කරණ ලද්දේ රක්නා ලද්දේ සංවර කරණ ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, දාන්ත වූ ගුප්ත වූ රක්‍ෂිත වූ සංවෘත වූ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
සිවුවන වග යි.
5. ශුක වර්‍ගය
1. 5. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, (උඩු අක් කොට නො තබා) වරදවා තබන ලද හැල්වී නංඩුයෙක් වේවයි යව වී නංඩුයෙක් වේව යි, අතින් වේවයි පයින් වේවයි, ඇක්මුනේ, අත වේවයි පය වේවයි බිඳුනේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙ කරුණ විද්‍යමාන නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, නංඩුව වරදවා තැබූ වන බැවිනි. මහණෙනි, එපරිදි ඒකාන්තයෙන් ඒ මහණ වරදවා තබන ලද සිතින් (දුඃඛාදි අට තන්හි නොදැනීම) ය යි කියන ලද අවිද්‍යාව බිඳුනේ ය, (අභීන්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව උපදවන්නේ ය, නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යාම මෙ කරුණ විද්‍යමාන නො වේ. ඒ කවර හෙයින යත්:- මහණෙනි, සිත වරදවා තැබූ වන බැවිනි.
1. 5. 2.
මහණෙනි, (බිඳිනට හැකි සේ උඩුඅක් කොට) මොනොවට තබනා ලද හැල්වීනංඩුයෙක් වේවයි යවවීනංඩුයෙක් වේවයි, අතින් වේවයි පයින් වේවයි, ඇක්මුනේ ඇත වේවයි, පය වේවයි බිඳුනේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ විද්‍යමාන වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, නංඩුව මොනොවට තැබූ වන බැවිනි. මහණෙනි, එපරිදි ඒකාන්තයෙන් ඒ මහණ මොනොවට තබන ලද සිතින් අවිද්‍යාව බිඳුනේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යන මෙකරුණ විද්‍යමාන වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත මොනොවට තැබූ වන බැවිනි.
1. 5. 3.
මහණෙනි, මම මෙලොවැ (දෝෂයෙන්) ප්‍රදුෂ්ට වූ සිත් ඇති කිසි පුගුලකු “ඉදින් මේ පුද්ගල තෙමේ මෙ සමයෙහි කලුරිය කරන්නේ නම්, (හිසින්) ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ නිරයෙහි සිතුනේ”යි මෙසේ මා සිතින් උහු සිත පිරිසිඳ දනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මොහුගේ සිත ප්‍රදුෂ්ට ය, එහෙයිනි. මහණෙනි, මෙසේ මෙලොව සත්ත්‍ව කෙනෙක් චිත්තප්‍රදෝෂහේතුයෙන් කාබුන් මරණින් මතු (සුවෙන් තොර බැවින්) අපාය නම් වූ (නපුරු ගති ඇති බැවින්) දුර්‍ගති නම් වූ (විවස ව පතිත වන බැවින්) විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නාහු ය.
1. 5. 4.
මහණෙනි, මම මෙලොවැ පහන් සිත් ඇති කිසි පුඟුලකු “ඉදින් මේ පුඟුල් මෙ සමයෙහි කලුරිය කරන්නේ නම්, (හිසින්) ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ ස්වර්‍ගයෙහි සිටුනේ” යි මෙසේ මා සිතින් උහු සිත පිරිසිඳ දනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මොහුගේ සිත පහන් වේ, එහෙයිනි. මහණෙනි, මෙලොව්හි සත්ත්‍ව කෙනෙක් මෙසේ චිත්තප්‍රසාදහේතුයෙනු දු කාබුන් මරණින් මතු (සුඛයට ගති වූ හෙයින්) සුගති නම් වූ (මොනොවට අග්‍ර හෙයින්) සග්ග නම් වූ ලෝකයට පැමිණෙන්නාහු ය.