1. 3. 10.
මහණෙනි, යමක් මෙසේ වැඩුයේ බහුල වශයෙන් කෙළේ සුව එළවන්නේ වේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, භාවිතය වූ බහුලීකෘත වූ සිත සුව එළවන්නේ වේ.
තෙවන වග යි.
4. අදන්ත වර්‍ගය
1. 4. 1.
මහණෙනි, යමක් මෙසේ නොදැමුනේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත් බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොදැමුනු සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 2.
මහණෙනි, යමක් මෙසේ දැමුනේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, දැමුනු සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 3.
මහණෙනි, යමක් මෙසේ (සතිසංවරයෙන්) ගෝපනය නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, අගෝපිත වූ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 4.
මහණෙනි, යමක් මෙසේ ගෝපනය කරණ ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ගෝපිත වූ සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 5.
මහණෙනි, යමක් මෙසේ නොරක්නා ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොරැකුනු සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 6.
මහණෙනි, යමක් මෙසේ රක්නා ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, රැකුනු සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 7.
මහණෙනි, යමක් මෙසේ සංවර නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, සංවර රහිත සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 8.
මහණෙනි, යමක් මෙසේ සංවර කරණ ලද්දේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, සංවර කළ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 9.
මහණෙනි, යමක් මෙසේ නොදැමුනේ ගෝපනය නොකරණ ලද්දේ සංවර නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොදැමුනු ගෝපනය නොකළ නොරැකි සංවර රහිත සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 10.
මහණෙනි, යමක් මෙසේ දැමුනේ ගෝපනය කරණ ලද්දේ රක්නා ලද්දේ සංවර කරණ ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, දාන්ත වූ ගුප්ත වූ රක්‍ෂිත වූ සංවෘත වූ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
සිවුවන වග යි.