1. 2. 6.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමච්ඡන්‍ද නූපදනේ නම්, උපන්නා වූ ද කාමච්ඡන්‍දය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ අශුභනිමිත්ත යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, අශුභනිමිත්ත නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද කාමච්ඡන්‍දය නූපදනේ ය. උපන්නා වූ ද කාමච්ඡන්‍දය ප්‍රහීණ වේ.
1. 2. 7.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ව්‍යාපාදය නූපදනේ නම්, උපන්නා වූ ද ව්‍යාපාදය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ මෛත්‍රීචිත්තවිමුක්තිය යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, මෛත්‍රීචිත්තවිමුක්තිය නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද ව්‍යාපාදය නූපදනේ ය. උපන්නා වූ ද ව්‍යාපාදය ප්‍රහීණ වේ.
1. 2. 8.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ථිනමිද්ධය නූපදනේ නම්, උපන්නා වූ ද ථිනමිද්ධය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ (ප්‍රථමාරම්භවීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) ආරම්භධාතු ද (කුසීතභාවයෙන් නික්මුනු බැවින් එයට වඩා බලවත්) නික්කමධාතු ද, (සම්බාධ මැඩ මතු මත්තට යන හෙයින් එයට ද වඩා බලවත්) පරක්කමධාතු ද යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ආරබ්ධවීර්‍ය්‍ය ඇතියහුට නූපන්නා වූ ද ථිනමිද්ධය නූපදනේ ය. උපන්නා වූ ද ථිනමිද්ධය ප්‍රහීණ වේ.
1. 2. 9.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය නූපදනේ නම්, උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ චිත්තයාගේ සන්හිඳීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, සන්හුන් සිත් ඇත්තහුට නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය නූපදනේ ය. උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වේ.
1. 2. 10.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නාවූ වූ ද විචිකිච්ඡාව නූපදනේ නම්, උපන්නා වූ ද විචිකිච්ඡාව ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ නුවණින් මෙනෙහි කිරීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද විචිකිච්ඡාව නූපදනේ ය. උපන්නා වූ ද විචිකිච්ඡාව ප්‍රහීණ වේ.
දෙවන වග යි.
3. අකර්‍මණ්‍ය වර්‍ගය
1. 3. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) නොවඩන ලද්දේ අකර්‍මණ්‍ය (=කර්‍මයට අහිත) වේ නම්, චිත්තය බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවඩන ලද සිත අකර්‍මණ්‍ය වේ.
1. 3. 2.
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) වඩන ලද්දේ කර්‍මණ්‍ය වේ ද, චිත්තය බඳු අන් එක ද ධර්‍මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, (භාවනා වශයෙන්) වඩන ලද සිත කර්‍මණ්‍ය වේ.
1. 3. 3.
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) නොවඩනා ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවඩන ලද සිත මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 4.
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) වඩන ලද්දේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 5.
මහණෙනි, යමක් මෙසේ නොවඩන ලද්දේ (විදර්‍ශනා මාර්‍ග ඵල නිර්‍වාණයන් අරමුණු කොට) පහළ නො වූයේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවැඩු (විදර්‍ශනාදිය අරමුණු කොට) පහළ නො වූ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 6.
මහණෙනි, යමක් මෙසේ වඩන ලද්දේ පහළ වූයේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු (විදර්‍ශනාදිය අරමුණු කොට) පහළ වූ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 7.
මහණෙනි, යමක් මෙසේ නොවඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නො වැඩු බහුල වශයෙන් පුරුදු නොකළ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.