1. 2. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමච්ඡන්දය උපදනේ නම්, උපන්නා වූ ද කාමච්ඡන්දය භූයස්ත්වය (නැවත නැවත වන බව) පිණිස විපුලබව පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ ශුභනිමිත්ත යම්සේ වේ ද, එබඳු වූ අන් එක ද ධර්මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ශුභනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද කාමච්ඡන්දය උපදනේ ය, උපන්නා වූ ද කාමච්ඡන්දය භූයස්ත්වය පිණිස විපුලත්වය පිණිස පවත්නේ ය.
1. 2. 2.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ව්යාපාදය උපදනේ නම්, උපන්නා වූ ද ව්යාපාදය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ ප්රතිඝ (අනිෂ්ට) නිමිත්ත යම්සේ වේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ප්රතිඝනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද ව්යාපාදය උපදනේ ය. උපන්නා වූ ද ව්යාපාදය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
1. 2. 3.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ථිනමිද්ධය (චිත්ත චෛතසිකයන් කර්මණ්ය නොවන බව) උපදනේ නම්, උපන්නා වූ ද ථිනමිද්ධය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ (දුර සෙනසුන්හි හෝ අධිකුශලධර්මයෙහි නොඇල්ම වූ) අරතිය ද, (අලසබව වූ) තන්දිය ද, (ඇඟ මැළි කැඩීම වූ) විජම්භිකාව ද, (බත්මත නම් වූ) භත්තසම්මදය ද, චිත්තයාගේ හැකුළුණු බව වූ ලීනත්වය ද යම්සේ වේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, හැකිළුණු සිත් ඇත්තහුට නූපන්නා වූ ද ථිනමිද්ධය උපදනේ ය. උපන්නා වූ ද ථිනමිද්ධය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
1. 2. 4.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද (චිත්තයාගේ නොසන්හුන් බව හා විපිළිසරබව ය යි කියන ලද) උද්ධච්චකුක්කුච්චය උපදනේ නම්, උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, චිත්තයාගේ මේ නොසන්හුන්බව යම්සේ වේ ද, එබඳු අන් එක ධර්මයකුදු මම නුවණැසින් නො දක්මි. මහණෙනි, නොසන්හුන් සිත් ඇත්තහුට නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය උපදනේය. උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
1. 2. 5.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද (බුද්ධාදි අට තන්හි සැකය යි කියන ලද) විචිකිච්ඡාව උපදනේ නම්, උපන්නා වූ ද විචිකිච්ඡාව භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ නුනුවණින් මෙනෙහි කිරීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද විචිකිච්ඡාව උපදනේ ය. උපන්නා වූ ද විචිකිච්ඡාව භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
1. 2. 6.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමච්ඡන්ද නූපදනේ නම්, උපන්නා වූ ද කාමච්ඡන්දය ප්රහීණ වේ නම්, මහණෙනි, මේ අශුභනිමිත්ත යම්සේ වේ ද, එබඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, අශුභනිමිත්ත නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද කාමච්ඡන්දය නූපදනේ ය. උපන්නා වූ ද කාමච්ඡන්දය ප්රහීණ වේ.
1. 2. 7.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ව්යාපාදය නූපදනේ නම්, උපන්නා වූ ද ව්යාපාදය ප්රහීණ වේ නම්, මහණෙනි, මේ මෛත්රීචිත්තවිමුක්තිය යම්සේ වේ ද, එබඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, මෛත්රීචිත්තවිමුක්තිය නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද ව්යාපාදය නූපදනේ ය. උපන්නා වූ ද ව්යාපාදය ප්රහීණ වේ.
1. 2. 8.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ථිනමිද්ධය නූපදනේ නම්, උපන්නා වූ ද ථිනමිද්ධය ප්රහීණ වේ නම්, මහණෙනි, මේ (ප්රථමාරම්භවීර්ය්ය සඞ්ඛ්යාත) ආරම්භධාතු ද (කුසීතභාවයෙන් නික්මුනු බැවින් එයට වඩා බලවත්) නික්කමධාතු ද, (සම්බාධ මැඩ මතු මත්තට යන හෙයින් එයට ද වඩා බලවත්) පරක්කමධාතු ද යම්සේ වේ ද, එබඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ආරබ්ධවීර්ය්ය ඇතියහුට නූපන්නා වූ ද ථිනමිද්ධය නූපදනේ ය. උපන්නා වූ ද ථිනමිද්ධය ප්රහීණ වේ.
1. 2. 9.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය නූපදනේ නම්, උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය ප්රහීණ වේ නම්, මහණෙනි, මේ චිත්තයාගේ සන්හිඳීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, සන්හුන් සිත් ඇත්තහුට නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය නූපදනේ ය. උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය ප්රහීණ වේ.
1. 2. 10.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නාවූ වූ ද විචිකිච්ඡාව නූපදනේ නම්, උපන්නා වූ ද විචිකිච්ඡාව ප්රහීණ වේ නම්, මහණෙනි, මේ නුවණින් මෙනෙහි කිරීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද විචිකිච්ඡාව නූපදනේ ය. උපන්නා වූ ද විචිකිච්ඡාව ප්රහීණ වේ.
දෙවන වග යි.