1. 16. 7. 29-44.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් වඩන ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ ප්‍රඥාප්‍රතිලාභය පිණිස පවත්නේය … ප්‍රඥාවගේ වැඩීම පිණිස පවත්නේය … ප්‍රඥාවගේ විපුල බව පිණිස පවත්නේය … මහාප්‍රාඥ බව පිණිස පවත්නේය ... (ස්කන්‍ධාදිනානාධර්‍මයන්හි) පෘථක්ප්‍රඥා ඇති බව පිණිස පවත්නේ ය ... විපුල ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … ගැඹුරු ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... අසාමන්තප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (රාගාදිකෙලෙස් මඩනා) භූරි ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … ප්‍රඥාබාහුල්‍ය පිණිස පවත්නේය … ශීඝ්‍රප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … (යුහුව සිල්පුරණ) ක්‍ෂිප්‍රප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (තෘෂ්ටිබහුලව ශීලාදිය පුරණ) හාසුප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … (ස්කන්‍ධාත්‍වායතනාදියෙහි දුවන) ජවනප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (කෙලෙස් සිඳීමෙහි) තීක්‍ෂණප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (සංස්කාරයන්හි කලකිරුවන) නිර්වේදික ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. කවර එක් ධර්‍මයෙක යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ ප්‍රඥාවගේ ප්‍රතිලාභය පිණිස පවත්නේය. ප්‍රඥාවගේ වෘද්ධිය පිණිස පවත්නේය. ප්‍රඥාවගේ විපුලත්‍වය පිණිස පවත්නේය. මහාප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. පෘථක්ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. විපුලප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ගම්භීරප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. අසාමන්තප්‍රඥා ඇති බව පිණිස පවත්නේ ය. භූරිප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ප්‍රඥාබාහුල්‍යය පිණිස පවත්නේය. ශීඝ්‍රප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ක්‍ෂිප්‍ර ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. හාසු ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ජවනප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. තීක්‍ෂණ ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. නිර්වේදිකප්‍රඥා ඇති බව පිණිස පවත්නේය.
සත්වන [කායගතාසති] වග යි.
[8. අමෘත වර්‍ගය]
1. 16. 8. 1-8.
මහණෙනි, යම් කෙනෙක් අමෘතසදෘශ කායගතාසතිය පරිභෝග ධ්‍යාන-සමාපජ්ජනයෙන් නො කෙරෙද් ද, ඔහු අමෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො වළඳත්.
මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පරිභෝග කෙරෙත් ද, ඔහු අමෘතය වළඳත්.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො වළඳන ලදු ද, ඔවුන් විසින් අමෘතය නො වළඳනා ලදී.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය වළඳන ලදු ද, ඔවුන් විසින් අමෘතය වළඳනා ලදි.
මහණෙනි, යම් කෙනකුන්ගේ කායගතාසතිය පිරිහුනු ද, ඔවුන්ගේ අමෘතය පිරිහින.
මහණෙනි, යම් කෙනකුන්ගේ කායගතාසතිය නො පිරිහුනු ද, ඔවුන්ගේ අමෘතය නො පිරිහින.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය අනධිගමයෙන් වරදනා ලදු ද, ඔවුන් විසින් අමෘතය වරදනා ලදී.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය සැපැයිනි ද, ඔවුන් විසින් අමෘතය නිෂ්පාදිත වෙයි.
1. 16. 8. 9-24.
මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පමා කෙරෙත් ද, ඔහු අමෘතය පමා කෙරෙත්.
මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පමා නො කෙරෙත් ද, ඔහු අමෘතය පමා නො කෙරෙත්.
මහණෙනි, යම් කෙනකුනට කායගතාසතිය විස්මෘත ද, ඔවුන්ට අමෘතය විස්මෘත වෙයි.
මහණෙනි, යම් කෙනකුනට කායගතාසතිය විස්මෘත නො වේ ද, ඔවුනට අමෘතය විස්මෘත නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො සෙවුනා ලදු ද, ඔවුන් විසින් අමෘතය සෙවුනා ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය සෙවුනා ලදු ද, ඔවුන් විසින් අමෘතය සෙවුනා ලද වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො වඩනා ලදු ද, ඔවුන් විසින් අමෘතය වඩනා ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය වඩන ලදු ද, ඔවුන් විසින් අමෘතය වඩන ලද වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය බහුල වශයෙන් පුරුදු නො කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පුරුදු කරණ ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය බහුල වශයෙන් පුරුදු කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පුරුදු කරණ ලද වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය විශිෂ්ටඥානයෙන් නො දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය දන්නා ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය දන්නා ලද වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය (භූතපරිඥාවශයෙන්) පිරිසිඳ නොදන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය පිරිසිඳ දන්නා ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පිරිසිඳ දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය පිරිසිඳ දන්නා ලද වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පසක් නො කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පසක් කරණ ලද නො වෙයි.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පසක් කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පසක් කරණ ලද වේ යි.
අටවෙනි [අමා] වග යි.
ඒකක නිපාතයෙහි සූත්‍ර දහස නිමි.