1. 16. 4. 2.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසුන් හැරපියා (නිරෑහි) උපදිත් ද, ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 3.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මධ්‍යම ජනපදයෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අඥ වූ ම්ලෙච්ඡයන් ඇති පසල්දනවුහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 4.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් පැණවත් වෙත් ද, මූඪ නො වෙත් ද, වහතොලු නො වෙත් ද, සුභාෂිත දුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට සමත් වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දුෂ්ප්‍රාඥ ද, මූඪ ද, වහතොලු ද, සුභාෂිත දුර්‍භාෂිතයන් ගේ අර්‍ත්‍ථ දන්නට අසමත් ද ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 5.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ආර්‍ය්‍ය වූ ප්‍රඥාචක්‍ෂුසින් සමන්‍විත වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අවිදු අඳුරෙන් යුක්ත වූවාහු මුළා වූවාහු ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 6.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබත් ද, ඒ සත්ත්‍වයෝ ම අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 7.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් සිවුසස් පවසා වදහළ ධර්‍මවිනය අසන්නට ලබත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් (සිවුසස්) හෙළි කොට වදාළ ධර්‍මවිනය අසන්නට නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 8.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අසා පෙළ දරත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අසා පෙළ නො දරත් ද තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 9.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් පුහුණු පෙළ අරුත් පිරික්සත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දැරු පෙළ අරුත් නො පිරික්සත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 10.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අටුවා දැන පෙළ දැන ධර්‍මානුධර්‍මය (ලොව්තුරා දහමට අනුලොම් පිළිවෙත) පිළිපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අරුත් දැන පෙළ දැන ධර්‍මානුධර්‍මය නො පිළිපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 11.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් සංවේග ජනන කරුණෙහි (ජාත්‍යාදියෙහි ලා) සංවේග (සාපත්‍රපඥාන) කෙරෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් සංවේග ජනන කරුණෙහි සංවේග නො කෙරෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 12.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් සංවිග්න වූවාහු උපා නුවණින් ප්‍රධන් වැර වඩත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් සංවිග්න වූවාහු නුවණින් වැර නො වඩත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 13.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් නිවන් අරමුණු කොට මාර්‍ගඵලසමාධිය ලබත් ද, චිතෛතකාග්‍රය ලබත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිවන් අරමුණු කොට සමාධිය නො ලබත් ද චිත්තෛකාග්‍රය නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.