1. 16. 3. 7.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි දායකයා විසින් පමණ දත යුතු වෙයි. ප්රතිග්රාහකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 8.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි ප්රතිග්රාහකයා විසින් පමණ දත යුතු වෙයි. දායකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය මොනොවට දෙසන ලද බැවිනි.
1. 16. 3. 9.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්මය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 10.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් කුසීත (තුන් විතක් ඇති) වේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්මය මනාකොට දෙසන ලද බැවිනි.
1. 16. 3. 11.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙක් කුසීත වේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්මය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 12.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්මය මොනොවට දෙසන ලද බැවිනි.
1. 16. 3. 13.
මහණෙනි, යම්සේ අල්පමාත්ර වූත් ගූථය දුගඳ වේ ද, එසෙයින් ම මම අල්පමාත්ර කාලයකුදු යටතින් ඇඟිලිපොළනකල් පමණකුදු භවප්රතිසන්ධිය නො වණමි.
1. 16. 3. 14-17.
මහණෙනි, යම්සේ අල්පමාත්ර වූ ද මුත්රය දුඟද වේ ද ... අල්පමාත්ර වූ ද කෙළ දුඟද වේ ද ... අල්පමාත්ර වූ ද පූයා දුඟද වේ ද ... අල්පමාත්ර වූ ද ලෙහෙ දුඟද වේ ද, මහණෙනි, එසෙයින් ම අල්පමාත්රකාලයකුදු යටත් පිරිසෙයින් ඇඟිලිවටන කලක් පමණකුදු භවය මම නො වණමි.
තෙවන වග යි.
[4. ජම්බුදීපපෙය්යාලය]
1. 16. 4. 1.
මහණෙනි, මේ දඹදිව අරම් රමණීය, වන රමණීය, බිම් රමණීය, පොකුණු රමණීය යම්සේ අල්පමාත්ර වේ ද, වැලිදු ගොඩ හා හෝකඩ බුනු තැන් ද, නදී දුර්ග ද, කණු කටු පිහිටි තැන් ද, ගිරි විෂමස්ථාන ද යන මෙය ම ඉබොහෝ වේ, මහණෙනි, එපරිද්දෙන් ම යම් සත්ත්ව කෙනෙක් ගොඩ උපදනාහු ද, ඒ සත්ත්වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්ව කෙනෙක් දියෙහි උපදනාහු ද තෙල සත්ත්වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 2.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්ව කෙනෙක් මිනිසුන් හැරපියා (නිරෑහි) උපදිත් ද, ඒ සත්ත්වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 3.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්ව කෙනෙක් මධ්යම ජනපදයෙහි උපදිත් ද, ඒ සත්ත්වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්ව කෙනෙක් අඥ වූ ම්ලෙච්ඡයන් ඇති පසල්දනවුහි උපදිත් ද, ඒ සත්ත්වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 4.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්ව කෙනෙක් පැණවත් වෙත් ද, මූඪ නො වෙත් ද, වහතොලු නො වෙත් ද, සුභාෂිත දුර්භාෂිතයන්ගේ අර්ත්ථ දන්නට සමත් වෙත් ද, ඒ සත්ත්වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්ව කෙනෙක් දුෂ්ප්රාඥ ද, මූඪ ද, වහතොලු ද, සුභාෂිත දුර්භාෂිතයන් ගේ අර්ත්ථ දන්නට අසමත් ද ඒ සත්ත්වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 5.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්ව කෙනෙක් ආර්ය්ය වූ ප්රඥාචක්ෂුසින් සමන්විත වෙත් ද, ඒ සත්ත්වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්ව කෙනෙක් අවිදු අඳුරෙන් යුක්ත වූවාහු මුළා වූවාහු ද, තෙල සත්ත්වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 6.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබත් ද, ඒ සත්ත්වයෝ ම අල්ප වෙති. වැලිදු යම් සත්ත්ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට නො ලබත් ද, තෙල සත්ත්වයෝ ම බහුතර වෙති.