1. 16. 2. 3.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිත්‍යදෘෂ්ටිකයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 16. 2. 4.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 16. 2. 5.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය උපදනේ නම්, උපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය වැඩේ නම්, මහණෙනි, මේ අයෝනිසෝ මනසිකාරය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අනුපාය මනසිකාරයෙන් මෙනෙහි කරනුවහුට නූපන්නා වු ද මිථ්‍යාදෘෂ්ටිය උපදී. උපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය වැඩේ.
1. 16. 2. 6.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය උපදනේ නම්, උපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය වැඩේ නම්, මහණෙනි, මේ යෝනිසෝ මනසිකාරය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරනුවහට නූපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය උපදී. උපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය වැඩේ.
1. 16. 2. 7.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ මෙසේ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට (ප්‍රතිසන්‍ධි වශයෙන්) පැමිණෙත් නම්, මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙත්.
1. 16. 2. 8.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ මෙසේ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට (පිළිසඳ විසින්) පැමිණෙත් නම්, මහණෙනි, මේ සම්‍යග්දෘෂ්ටිය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටියෙන් යුක්ත වූ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණෙත්.
1. 16. 2. 9-15.
මහණෙනි, මිසදිටුගත් පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ සමාප්ත වූ (නිඃශේෂ වූ) සමාදින්න වූ (මුල මැද අග සමකොට ගත්) යම් කායකර්‍මයෙකුත් වේ ද, ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ මොනවට ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද, ... (දෘෂ්ටිසහජාත වූ) යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද … යම් චිත්තප්‍රණිධියෙකුත් (චේතනා ප්‍රාර්‍ත්‍ථනාවන්ගේ වශයෙන් සිත පිහිටුවාලීමෙක්) වේ ද ... යම් සංස්කාර කෙනෙකුත් වෙද් ද, ඒ සියලු ධර්‍මයෝ අනිටු වූ අකාන්ත වූ මන නොවඩන්නා වූ අහිත වූ දුක් පිණිස පවත්නාහ. ඒ කවර හෙයින: මහණෙනි, දෘෂ්ටිය පවිටු ය, එහෙයිනි. මහණෙනි, යම්සේ කොසඹ බිජුවටෙක් වේවයි, වැටකොළු බිජුවටෙක් වේවයි, තිත්ත ලබු බිජුවටෙක් වේවයි, තෙත් බිම බහාලන ලද්දේ යම් ම පෘථිවිරසයකුත් ඇද ගණී ද, යම් ම ආපෝරසයකුත් ඇද ගණී ද, ඒ සියල්ල තිත්තරස බව පිණිස, කටුකරස බව පිණිස, නොමිහිරි රස බව පිණිස පවත්නේ ය. ඒ කවරහෙයින: මහණෙනි, බිජුවට ලාමක ය, එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මිසදිටු ගත් පුරුෂ පුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් වූ යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් ප්‍රණිධියෙකුත් වේ ද ... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද ... ඒ සියලු ධර්‍මයෝ අනිටු වූ නොකල් වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස පවත්නාහ. ඒ කවරහෙයින: මහණෙනි, දෘෂ්ටිය පවිටු ය, එහෙයිනි.
1. 16. 2. 16-22.
මහණෙනි, සම්‍යග්දෘෂ්ටික වූ පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් වූ යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ, සමාදන් වූ යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් චිත්තප්‍රණිධියෙකුත් වේ ද .... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, ඒ සියලු ධර්‍මයෝ ඉටු වූ කල් වූ මනාප වූ හිත වූ සුව පිණිස පවත්නාහ. ඒ කවර හෙයින: මහණෙනි, දෘෂ්ටිය කල්‍යාණය, එහෙයිනි. මහණෙනි, යම් බඳු උක් බිජුවටෙක් වේවයි, හැල් බිජුවටෙක් වේවයි, මිදි බිජුවටෙක් වේවයි, තෙත් බිමෙහි ඇද බහාලන ලද්දේ යම් ම පෘථිවි රසයකුත් ඇද ගණී ද, යම් ම ආපෝරසයකුත් ඇද ගණී ද, ඒ සියල්ල මධුරභාවය පිණිස, ප්‍රියභාවය පිණිස අසේචනකභාවය (අමුතු රස නො ඉසිය යුතු බව = අත්‍යන්තප්‍රියභාවය) පිණිස පවත්නේය. ඒ කවර හෙයින: මහණෙනි, බිජුවට සොඳුරුය, එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම සම්‍යග්දෘෂ්ටික පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් ව ගත් යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් ව ගත් යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් ප්‍රණිධියෙකුත් වේ ද .... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, ඒ සියලු ධර්‍මයෝ ඉටු වූ කල් වූ මනාප වූ හිත වූ සුව පිණිස පවත්නාහ. ඒ කවරහෙයින: මහණෙනි, දෘෂ්ටිය සොඳුරු ය, එහෙයිනි.
දෙවන වග යි.