1. 16. 2. 16-22.
මහණෙනි, සම්යග්දෘෂ්ටික වූ පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් වූ යම් කායකර්මයෙකුත් වේ ද ... යම් වාක්කර්මයෙකුත් වේ ද ... දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ, සමාදන් වූ යම් මනඃකර්මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්රාර්ත්ථනායෙකුත් වේ ද ... යම් චිත්තප්රණිධියෙකුත් වේ ද .... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, ඒ සියලු ධර්මයෝ ඉටු වූ කල් වූ මනාප වූ හිත වූ සුව පිණිස පවත්නාහ. ඒ කවර හෙයින: මහණෙනි, දෘෂ්ටිය කල්යාණය, එහෙයිනි. මහණෙනි, යම් බඳු උක් බිජුවටෙක් වේවයි, හැල් බිජුවටෙක් වේවයි, මිදි බිජුවටෙක් වේවයි, තෙත් බිමෙහි ඇද බහාලන ලද්දේ යම් ම පෘථිවි රසයකුත් ඇද ගණී ද, යම් ම ආපෝරසයකුත් ඇද ගණී ද, ඒ සියල්ල මධුරභාවය පිණිස, ප්රියභාවය පිණිස අසේචනකභාවය (අමුතු රස නො ඉසිය යුතු බව = අත්යන්තප්රියභාවය) පිණිස පවත්නේය. ඒ කවර හෙයින: මහණෙනි, බිජුවට සොඳුරුය, එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම සම්යග්දෘෂ්ටික පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් ව ගත් යම් කායකර්මයෙකුත් වේ ද ... යම් වාක්කර්මයෙකුත් වේ ද ... දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් ව ගත් යම් මනඃකර්මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්රාර්ත්ථනායෙකුත් වේ ද ... යම් ප්රණිධියෙකුත් වේ ද .... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, ඒ සියලු ධර්මයෝ ඉටු වූ කල් වූ මනාප වූ හිත වූ සුව පිණිස පවත්නාහ. ඒ කවරහෙයින: මහණෙනි, දෘෂ්ටිය සොඳුරු ය, එහෙයිනි.
දෙවන වග යි.
[3. තෙවන වර්ගය]
1. 16. 3. 1.
මහණෙනි, ලෙව්හි උපදනට සමත් එක් පුද්ගලයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: විපරීතදර්ශන ඇති මිථ්යාදෘෂ්ටික වෙයි. හෙතෙම බොහෝ දෙනා (දශකුශලකර්මපථසඞ්ඛ්යාත) සද්ධර්මයෙන් නඟා (දශ අකුශල කර්මපථ සඞ්ඛ්යාත) අසද්ධර්මයෙහි පිහිටුවයි. මහණෙනි, ලෙව්හි උපදනට සමත් මේ එක් පුද්ගල තෙමේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස උපන්නේ වෙයි.
1. 16. 3. 2.
මහණෙනි, ලෙව්හි උපදනට සමත් එක් පුද්ගලයෙක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: මහණෙනි, අවිපරීත දර්ශන ඇති සම්යග් දෘෂ්ටික වෙයි. හෙ තෙමෙ බොහෝ දෙනා අසද්ධර්මයෙන් නඟා සද්ධර්මයෙහි පිහිටුවයි. මහණෙනි, ලෙව්හි උපදනට සමත් මේ එක් පුද්ගලයා බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඬ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි.
1. 16. 3. 3.
මහණෙනි, යමෙක් මෙසේ මහාසාවද්ය වේ ද, මහණෙනි, මේ මිථ්යාදෘෂ්ටිය යම් බඳු වේ නම් එබඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, දෝෂයෝ මිථ්යාදෘෂ්ටිය පරම කොට ඇතියහ.
1. 16. 3. 4.
මහණෙනි, යමෙක් මෙසේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ද, මහණෙනි, මස්කරි මෝඝපුරුෂයා බඳු අන් එක පුඟුලකු මම නො දක්මි. මහණෙනි, යම්සේ හෝමුවදොර බොහෝ මස්නට අහිත පිණිස දුක් පිණිස නොවැඩ පිණිස වැසන පිණිස කෙමිනක් බහා ලන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මස්කරි මෝඝපුරුෂයා බොහෝ සත්නට අහිත පිණිස දුක් පිණිස නොවැඩ පිණිස වැසන පිණිස ලෙව්හි උපන් මිනිස් කෙමිනක් බඳු වේ.
1. 16. 3. 5.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙකුත් සමාදන් කරවා නම්, යමකුදු ලවා සමාදන් කරවා නම්, සමාදන් කරවන ලද යම් අතැවැසියෙකුත් ඒ පිණිස පිළිපදනේ නම්, ඒ හැම දෙන බොහෝ පව් රැස් කෙරෙත්. ඒ කවරහෙයින: මහණෙනි, ඒ ශාසනය වරදවා දෙසන ලද බැවිනි.