1. 16. 1. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්තයෙන් (සසර) කළකිරීම පිණිස, (සසර) නොඇලීම පිණිස (රාගාදීන්ගේ) නිරෝධය පිණිස (කෙලෙස්) සන්හිඳීම පිණිස (අනිත්‍යාදිවශයෙන්) වෙසෙසා දැනුම පිණිස සිවුසස් පිළිවිඳීම පිණිස නිවන් පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: බුද්ධානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය.
1. 16. 1. 2-10.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: ධර්‍මානුස්මෘතිය යි. ... සඞ්ඝානුස්මෘතිය යි. ... ශීලානුස්මෘතිය යි. ... ත්‍යාගානුස්මෘතිය යි. ... දේවතානුස්මෘතිය යි. ... ආනාපානස්මෘතිය යි. ... මරණානුස්මෘතිය යි. ... කායගතස්මෘතිය යි. ... උපශාමානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය.
පළමු වග යි.
[2. දෙවන වර්‍ගය]
1. 16. 2. 1.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත් නම්, මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිකයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත්.
1. 16. 2. 2.
මහණෙනි,යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශල ධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ බොහෝ බව පිණිස විපුලබව පිණිස පවතිත් නම්, මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත්.
1. 16. 2. 3.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිත්‍යදෘෂ්ටිකයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 16. 2. 4.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 16. 2. 5.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය උපදනේ නම්, උපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය වැඩේ නම්, මහණෙනි, මේ අයෝනිසෝ මනසිකාරය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අනුපාය මනසිකාරයෙන් මෙනෙහි කරනුවහුට නූපන්නා වු ද මිථ්‍යාදෘෂ්ටිය උපදී. උපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය වැඩේ.
1. 16. 2. 6.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය උපදනේ නම්, උපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය වැඩේ නම්, මහණෙනි, මේ යෝනිසෝ මනසිකාරය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරනුවහට නූපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය උපදී. උපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය වැඩේ.
1. 16. 2. 7.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ මෙසේ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට (ප්‍රතිසන්‍ධි වශයෙන්) පැමිණෙත් නම්, මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙත්.
1. 16. 2. 8.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ මෙසේ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට (පිළිසඳ විසින්) පැමිණෙත් නම්, මහණෙනි, මේ සම්‍යග්දෘෂ්ටිය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටියෙන් යුක්ත වූ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණෙත්.