1. 15. 26.
මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයෙන් යුත් පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට යන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයෙන් යුත් පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු ස්වර්‍ගලෝකයට (පිළිසඳ විසින්) යන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 27-28.
මහණෙනි, යම් හෙයෙකින් වාක්සුචරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ … යම් හෙයකින් මනඃසුචරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට (පිළිසිඳ විසින්) යන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් මනඃසුචරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට යන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
[අට්ඨානපාළිය නිමි.]
16. ඒකධම්ම පාළිය
[1. පළමු වර්‍ගය]
1. 16. 1. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්තයෙන් (සසර) කළකිරීම පිණිස, (සසර) නොඇලීම පිණිස (රාගාදීන්ගේ) නිරෝධය පිණිස (කෙලෙස්) සන්හිඳීම පිණිස (අනිත්‍යාදිවශයෙන්) වෙසෙසා දැනුම පිණිස සිවුසස් පිළිවිඳීම පිණිස නිවන් පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: බුද්ධානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය.
1. 16. 1. 2-10.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: ධර්‍මානුස්මෘතිය යි. ... සඞ්ඝානුස්මෘතිය යි. ... ශීලානුස්මෘතිය යි. ... ත්‍යාගානුස්මෘතිය යි. ... දේවතානුස්මෘතිය යි. ... ආනාපානස්මෘතිය යි. ... මරණානුස්මෘතිය යි. ... කායගතස්මෘතිය යි. ... උපශාමානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය.
පළමු වග යි.
[2. දෙවන වර්‍ගය]
1. 16. 2. 1.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත් නම්, මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිකයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත්.
1. 16. 2. 2.
මහණෙනි,යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශල ධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ බොහෝ බව පිණිස විපුලබව පිණිස පවතිත් නම්, මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත්.