1. 13. 2.
මහණෙනි, එක් පුද්ගලයක්හුගේ ඉපැද්ම ලොවැ දුර්‍ලභ ය. කවර එක් පුද්ගලයක්හුගේ ය? යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්වහන්සේගේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ ඉපැද්ම ලොවැ දුර්‍ලභ ය.
1. 13. 3.
මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපන්නේ වෙයි.
1. 13. 4.
මහණෙනි, එක් පුද්ගලයක්හුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාප කර වෙයි. කවර එක් පුද්ගලයක්හුගේ ය? යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ (කාලක්‍රියාව) ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාපකර (චේතෝදුඃඛාවහ) වෙයි.
1. 13. 5-13.
මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ උපදනට පොහෝනේ අද්විතීය ව, අසහාය ව, අප්‍රතිම ව, අප්‍රතිසම ව, අප්‍රතිභාග ව, අප්‍රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්‍ර ව උපන්නේවෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගල තෙමේ වනාහි ලොවැ උපදනට පොහෝනේ අද්විතීය ව, අසහාය ව, අප්‍රතිම ව, අප්‍රතිසම ව, අප්‍රතිභාග ව, අප්‍රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්‍ර ව උපන්නේ වෙයි.
1. 13. 14-25.
මහණෙනි, එක් පුද්ගලයක්හුගේ නිෂ්පත්තිය හේතු කොට ගෙන මහත් වූ ප්‍රඥාචක්‍ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාලෝකයක්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාවභාසයක්හුගේ පහළ වීම වෙයි, අනුත්තරියධර්‍මයන් සදෙනාගේ පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ පසක් කිරීම වෙයි, (අටළොස් වැදෑරුම්) අනේක ධාතුන්ගේ ප්‍රතිවේධය වෙයි, (අටළොස් වැදෑරුම්) නානාධාතුන්ගේ ප්‍රතිවේධය වෙයි, විද්‍යාවිමුක්තිඵලයන්ගේ සාක්‍ෂාත් කිරීම වෙයි, ස්‍රෝතාපත්ති ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අනාගාමී ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අර්‍හත්ත්‍ව ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, කවර එක් පුද්ගලයක්හුගේය? යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ නිෂ්පත්තියෙන් මහත් වූ ප්‍රඥාචක්‍ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාලෝකයාගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාවභාසයාගේ පහළ වීම වෙයි, අනුත්තරිය ධර්‍මයන් සදෙනාගේ පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අනේක ධාතු ප්‍රතිවේධය වෙයි, නානාධාතුප්‍රතිවේධය වෙයි, විද්‍යාවිමුක්තිඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, ස්‍රෝතාපත්ති ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අනාගාමී ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අර්‍හත්ත්‍ව ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි.
1. 13. 26.
මහණෙනි, යමෙක් මෙසේ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර වූ ධර්‍මචක්‍රය මොනොවට ම (තථාගතයන්) අනුව පවත්වා ද, මහණෙනි, ශාරීපුත්‍රයන් බඳු අන් එක පුඟුලකුදු මම නො දක්මි. මහණෙනි, සැරියුත් තෙමේ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර වූ ධර්‍මචක්‍රය මනා කොට ම (තථාගතයන්) අනු ව පවත්වයි.
තෙළෙස්වන වගයි.
14. ඒතදග්ග පාළිය
1. 14. 1. 1-10.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේ ද, චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මෙ අග්‍ර වෙයි. … යම් ශාරීපුත්‍ර නම් මහණෙක් වේ ද, මහාප්‍රාඥ වූ මාගේ ශ්‍රාවකයන් අතුරෙහි … යම් මහා මෞද්ගල්‍යායන නම් මහණෙක් වේ ද, ඍද්ධිමතුන් අතුරෙහි … යම් මහාකාශ්‍යප නම් මහණෙක් වේ ද, ධුතවාද ඇත්තවුන් අතුරෙහි … යම් අනුරුද්ධ නම් මහණෙක් වේ ද, දිවැස් ඇතියන් අතුරෙහි … කාළිගෝධාවගේ පුත් යම් භද්දිය නම් මහණෙක් වේ ද, උසස් කුලයෙහි උපනුවන් අතුරෙහි … යම් ලකුණ්ටක භද්දිය නම් මහණෙක් වේ ද, මිහිරි කටහඬ ඇතියන් අතුරෙහි … යම් පිණ්ඩෝලභාරද්වාජ නම් මහණෙක් වේ ද, සිංහනාද කරනුවන් අතුරෙහි … යම් මන්තාණි බැමිණියගේ පුත් පුණ්ණ නම් මහණෙක් වේ ද, ධර්‍මකථිකයන් අතුරෙහි … යම් මහාකච්චාන නම් මහණෙක් වේ ද, සැකෙවින් කියූ දැයෙහි අරුත් විතරින් බෙදා දක්වන මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර වෙයි.
පළමුවන වග යි.
1. 14. 2. 1-11.
මහණෙනි, යම් චුල්ලපන්‍ථක නම් මහණෙක් වේ ද, මනෝමය කය මවන මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර වෙයි. … යම් චුල්ලපන්‍ථක නම් මහණෙක් වේ ද, චේතෝවිවට්ට (රූපධ්‍යාන) යෙහි දක්‍ෂ වූ භික්‍ෂූන් අතුරෙහි … යම් මහාපන්‍ථක නම් මහණෙක් වේ ද, සඤ්ඤාවිවට්ට (අරූපධ්‍යාන) යෙහි දක්‍ෂ වූ භික්‍ෂූන් අතුරෙහි … යම් සුභූති නම් මහණෙක් වේ ද, කෙලෙස් රහිත විහරණ ඇතියන් අතුරෙහි … යම් සුභූති නම් මහණෙක් වේ ද, දක්‍ෂිණාර්‍හයන් අතුරෙහි … කිහිරිවන වැසි යම් රේවත නම් මහණෙක් වේ ද, අරණ්‍යවාසී මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි … යම් කඞ්ඛාරේවත නම් මහණෙක් වේ ද, ධ්‍යානයෙහි ඇලුනවුන් අතුරෙහි … කොළිවීස ගෝත්‍රයෙහි උපන් යම් සෝණ නම් මහණෙක් වේ ද, පිරිපුන් වැර ඇති භික්‍ෂූන් අතුරෙහි … යම් කුටිකණ්ණසෝණ නම් මහණෙක් වේ ද, කලණ බස් තෙපලනුවන් අතුරෙහි … යම් සීවලී නම් මහණෙක් වේ ද, සිවුපසය ලබනුවන් අතුරෙහි … යම් වක්කලි නම් මහණෙක් වේ ද, බලවත් සැදැහැ ඇති මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙන් මේ අග්‍ර වෙයි.
දෙවැනි වග යි.