11. අධම්ම වර්‍ගය
1. 11. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්‍මය අධර්‍මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්‍මය තබත්.
1. 11. 2-10.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් ධර්‍මය ධර්‍මය යි (යථාවිධියෙන් ගෙණ) දක්වත් ද …, අවිනය අවිනය යි දක්වත් ද …, විනය විනය යි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි නොතෙපලන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්‍මය තබත්.
එකොළොස් වන වග යි.
12. අනාපත්ති වර්‍ගය
1. 12. 1-10.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් ම මහණ කෙනෙක් නොඇවැත ඇවැතැයි දක්වත් ද …, ඇවැත නොඇවැතැයි දක්වත් ද …, ලුහු ඇවැත ගුරු ඇවැතැයි දක්වත් ද …, ගුරු ඇවැත ලුහු ඇවැතැයි දක්වත් ද …, දුළුල් ඇවැත නොදුළුල් ඇවැතැයි දක්වත් ද …, නොදුළුල් ඇවැත දුළුල් ඇවැතැයි දක්වත් ද …, සාවශෙෂ ඇවැත අනවශේෂ ඇවැතැයි දක්වත් ද …, අනවශේෂ ඇවැත සාවශෙෂ ඇවැතැයි දක්වත් ද …, පිළියම් සහිත ඇවැත පිළියම් රහිත ඇවැතැයි දක්වත් ද …, පිළියම් රහිත ඇවැත පිළියම් සහිත ඇවැතැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණ හු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට නො වැඩ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පව් ද රැස් කෙරෙති. ඔහු ම මේ සස්න අතුරුදන් කෙරෙත්.
1. 12. 11-20.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් නො ඇවැත නො ඇවැතැයි දක්වත් ද …, ඇවැත ඇවැතැයි දක්වත් ද …, ලුහු ඇවැත (පස්ඇවැත්කඳු) ලුහු ඇවැතැයි දක්වත් ද …, ගුරු ඇවැත (දෙඇවැත්කඳු) ගුරු ඇවැතැයි දක්වත් ද …, දුළුල් ඇවැත දුළුල් ඇවැතැයි දක්වත් ද …, නො දුළුල් ඇවැත නො දුළුල් ඇවැතැයි දක්වත් ද …, සාවශෙෂ ඇවැත සාවශෙෂ ඇවැතැයි දක්වත් ද …, අනවශේෂ ඇවැත (පරිජිඇවැත) අනවශේෂ ඇවැතැයි දක්වත් ද …, පිළියම් සහිත ඇවැත පිළියම් සහිත ඇවැතැයි දක්වත් ද …, පිළියම් රහිත ඇවැත (පරිජිඇවැත) පිළියම් රහිත ඇවැතැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණ හු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උදා කෙරෙත්. ඔහු ම මේ ශාසනය තබත්.
දොළොස්වන වග යි.
13. ඒකපුග්ගල වර්‍ගය
1. 13. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ (සත්ත්‍වලෝකයෙහි = මිනිස්ලොවැ) උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස (අර්‍හත්ත්‍වඵලක්‍ෂණයෙහි) උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොවැ උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි.