1. 1. 6.
මහණෙනි, මේ පුරුෂරූපය යම්සේ වේ ද, එසේ යම් රූපයෙක් (රූපගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක් ද රූපයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂරූපය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 7.
මහණෙනි, මේ පුරුෂශබ්දය යම්සේ වේ ද, එසේ යම් ශබ්දයක් (ශබ්දගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ශබ්දයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂශබ්දය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 8.
මහණෙනි, මේ පුරුෂගන්‍ධය යම්සේ වේ ද, එසේ යම් ගන්‍ධයෙක් (ගන්‍ධගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ගන්‍ධයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂගන්‍ධය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 9.
මහණෙනි, මේ පුරුෂරසය යම්සේ වේ ද, එසේ යම් රසයෙක් (රසගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද රසයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂරසය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 10.
මහණෙනි, මේ පුරුෂස්ප්‍රෂ්ටව්‍යය යම්සේ වේ ද, එසේ යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක් (ස්ප්‍රෂ්ටව්‍යගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ස්ප්‍රෂ්ටව්‍යයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂස්ප්‍රෂ්ටව්‍යය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
පළමු වග යි.
2. නීවරණප්‍රහාණ වර්‍ගය
1. 2. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමච්ඡන්‍දය උපදනේ නම්, උපන්නා වූ ද කාමච්ඡන්‍දය භූයස්ත්‍වය (නැවත නැවත වන බව) පිණිස විපුලබව පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ ශුභනිමිත්ත යම්සේ වේ ද, එබඳු වූ අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ශුභනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද කාමච්ඡන්‍දය උපදනේ ය, උපන්නා වූ ද කාමච්ඡන්‍දය භූයස්ත්‍වය පිණිස විපුලත්‍වය පිණිස පවත්නේ ය.
1. 2. 2.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ව්‍යාපාදය උපදනේ නම්, උපන්නා වූ ද ව්‍යාපාදය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ ප්‍රතිඝ (අනිෂ්ට) නිමිත්ත යම්සේ වේ ද, එබඳු වූ අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ප්‍රතිඝනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද ව්‍යාපාදය උපදනේ ය. උපන්නා වූ ද ව්‍යාපාදය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
1. 2. 3.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ථිනමිද්ධය (චිත්ත චෛතසිකයන් කර්‍මණ්‍ය නොවන බව) උපදනේ නම්, උපන්නා වූ ද ථිනමිද්ධය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ (දුර සෙනසුන්හි හෝ අධිකුශලධර්‍මයෙහි නොඇල්ම වූ) අරතිය ද, (අලසබව වූ) තන්‍දිය ද, (ඇඟ මැළි කැඩීම වූ) විජම්භිකාව ද, (බත්මත නම් වූ) භත්තසම්මදය ද, චිත්තයාගේ හැකුළුණු බව වූ ලීනත්‍වය ද යම්සේ වේ ද, එබඳු වූ අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, හැකිළුණු සිත් ඇත්තහුට නූපන්නා වූ ද ථිනමිද්ධය උපදනේ ය. උපන්නා වූ ද ථිනමිද්ධය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
1. 2. 4.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද (චිත්තයාගේ නොසන්හුන් බව හා විපිළිසරබව ය යි කියන ලද) උද්ධච්චකුක්කුච්චය උපදනේ නම්, උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, චිත්තයාගේ මේ නොසන්හුන්බව යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම නුවණැසින් නො දක්මි. මහණෙනි, නොසන්හුන් සිත් ඇත්තහුට නූපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය උපදනේය. උපන්නා වූ ද උද්ධච්චකුක්කුච්චය භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.
1. 2. 5.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද (බුද්ධාදි අට තන්හි සැකය යි කියන ලද) විචිකිච්ඡාව උපදනේ නම්, උපන්නා වූ ද විචිකිච්ඡාව භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ නුනුවණින් මෙනෙහි කිරීම යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරණුවහට නූපන්නා වූ ද විචිකිච්ඡාව උපදනේ ය. උපන්නා වූ ද විචිකිච්ඡාව භූයෝභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය.