සුදින්න බණවර
1. එසමයෙහි විසල්පුර අසල කලන්‍දගාම නම් ගමෙක් වෙයි. එහි කලන්‍ද සිටුහුගේ පුත් වූ සුදින්න නම් සිටුපුතෙක් වෙයි. ඉක්බිති කලන්‍දසිටුපුත් වූ සුදින්න තෙමේ බොහෝ යහළුවන් සමග කිසි යම් කටයුත්තෙකින් විසල්පුරයට පැමිණියේ ය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවැරුණ සේක් දහම් දෙසමින් වැඩහුන් සේක.
2. කලන්‍ද සිටුපුත් තෙමේ මහපිරිසෙන් පිරිවරණ ලදු ව දහම් දෙසමින් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක ඔහුට “ඉදින් මම ද බණ අසන්නෙම් නම් යෙහෙකැ”යි මෙබඳු සිතෙක් විය. ඉක්බිති සුදින්න සිටුපුත් තෙමේ ඒ පිරිස වෙත පැමිණ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් සුදින්නහට මෙබඳු සිතෙක් විය: “භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය යම් යම් සේ මම දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය හැසිරෙන්නට සුකර නො වේ. ඉදින් මම කෙස්රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නෙම් නම් මැනැව” යනුයි.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද, කුසල් දහම්හි යොදවන ලද, තියුණු කරණ ලද, පහන් කරණ ලද ඒ පිරිස හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
4. ඉක්බිති සුදින්න නම් වූ කලන්‍දපුත් තෙමේ ඒ පිරිස නැගිට ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුදින්න කලන්‍දපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය මම යම්සේ දනිම් ද, ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය හැසිරෙන්නට සුකර නො වේ. වහන්ස, මම් කෙස් රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරණ සේක්වා” යනු යි.
“සුදින්නය, ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මව්පියන් විසින් තෝ අනුදන්නා ලද්දෙහි ද?”
“වහන්ස, ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මව්පියන් විසින් මම නො අනුදන්නා ලද්දෙම් වෙමි.”
“සුදින්නය, තථාගතවරයෝ මව්පියන් විසින් නොඅනුදත් කුලදරුවා පැවිදි නො කෙරෙත්.”
“වහන්ස, ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මව්පියෝ මට යම්සේ අනුදන්නාහු ද, මම් එසේ කරන්නෙමි.”
5. ඉක්බිති කලන්‍ද සිටු පුත් වූ සුදින්න තෙමේ විසල්පුරයෙහි ඒ කටයුතු දැය අවසන් කොට කලන්‍දගම මව්පියන් වෙත ගියේ ය. ගොස් මව්පියන්ට “මෑණියෙනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය මම යම් යම් ලෙසෙකින් දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම් කෙස්රවුල් බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මට අවසර දෙන්නැ”යි මෙය කීය. මෙසේ කී කල්හි සුදින්න කලන්‍ද පුතුගේ මව්පියෝ සුදින්න කලන්‍ද පුත්හට “දරුව, සුදින්නය, තෝ අපගේ ප්‍රිය වූ මනාප වූ සුව සේ වැඩුනු, සුව සේ පෝෂණය කරණ ලද, එක ම පුත්‍ර වෙහි. දරුව, සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. අපි තාගේ මරණයෙනුදු නොකැමැත්තමෝ ම වෙන් වන්නමු. කිම, අපි ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමු දැ?” යි මෙය කීහ.
6. දෙවෙනු ද ... තෙවෙනු ද ... කලන්‍ද පුත් වූ සුදින්න තෙමේ මව්පියන්ට “මෑණියෙනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය මම යම් සේ දනිම් ද, ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම කෙස්රවුල් බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මට අවසර දෙන්නැ”යි මෙය කී ය. තෙවෙනු ද කලන්‍ද පුත් සුදින්නගේ මව්පියෝ කලන්‍ද පුත් සුදින්නහට “දරුව, සුදින්නය, තෝ වනාහි අපගේ ප්‍රිය වූ, මන වඩන, සුව සේ වැඩුනු, සුවසේ පෝෂිත වූ, එක ම පුත්‍ර වෙහි. දරු, සුදින්න, තෝ කිසි දුකක් නො දන්නෙහි. තාගේ මරණයෙනුදු අපි නො කැමැත්තමෝ ම වෙන් වන්නමු. කිම, අපි ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමු දැ?” යි මෙය කීහ.
7. ඉක්බිති කලන්‍ද පුත් සුදින්න තෙමේ “ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මව්පියෝ මට නො ම අනුදනිත්. මෙහි ම මගේ මරණය හෝ පැවිද්ද හෝ වන්නේ ය”යි එහි ම කිසිවක් නො අතුළ බිමෙහි හොත්තේ ය. ඉක්බිති කලන්‍දපුත් සුදින්න තෙමේ එක් බතක් ද නො වැළඳීය. බත් දෙකක් ද නො වැළඳී ය. බත් තුණක් ද නො වැළඳී ය. බත් සතරක් ද නො වැළඳී ය. බත් පසක් ද නො වැළඳී ය. බත් සයක් ද නො වැළඳී ය. බත් සතක් ද නො වැළඳී ය. (සත් දිනක් ම නො වැළඳීය යනු භාවයි.)